බෙන්තොට රජමහා විහාරය

0
1145

බෙන්තොට රජමහා විහාරය

කොළඹ සිට ගාලූ පාරේ බෙන්තර පාලම පසු කර මීටර 300 ක පමණ දුර ගිය විට පාරේ වම් පසින් ඇරඹෙන රජ මාවත නමින් හැ`දින්වෙන වට රවුම් පාරක් වෙයි. එම පාර අසල පිහිිටි විහාරස්ථාන පහක් වෙති. ඒවා නම්
1. උඩ කොටුව බෝධී සමීප බෙම්තොට රජ මහා විහාරය
2. බෙම්තොට වනවාස රජ මහා විහාරය
3. බෝධි මළුව රජ මහා විහාරය
4. බෙම්තොට ගලපාත රජ මහා විහාරය
5. බෙම්තොට ගනේ රජ මහා විහාරය (ගණේ විහාරය)

අතීතයේදී මෙම විහාර පහ බෙම්තොට රජමහා විහාරය නම් වූ එකම මහා විහාරයකි. ගාලූ පාර, ඇල්පිටිය පාර සහ බෙන්තර ගඟට මායිම් වූ වර්ග සැතපුම් තුනක පමණ පෙදෙසක මෙම විහාර පැතිරී ඇත. මෙම විහාර බිම් ගෙවල් වලින් සම්බන්ධව තිබී ඇත.

අනුරාධපුරයේ දේවානම්පියතිස්ස රජු රාජ්‍ය කරන සමයෙහි ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් බල බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධීන් වහන්සේ නමක් සුමිත්ත ඇමති (ජයමහාලේනා) විසින් බෝධිමළු විහාර භූමියෙහි රෝපණය කිරීමෙන් මෙම විහාරය ආරම්භ වූ බව වංශකථාවල සටහන් වී ඇත. ඉන්පසු සද්ධාතිස්ස, මහා පරාක‍්‍රමබාහු, දෙවෙනි පරාක‍්‍රමබාහු සහ හයවෙනි පරාක‍්‍රමබාහු ආදී රජවරුන් විසින් වැඩිදියුණු කරන ලද බව පොත පතෙහි සඳහන් වේ.

පෘතුගීසීන් විසින් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කරන ලද මෙම මහා විහාරය ඇතුළු මෙම පෙදෙස ජනශූන්‍ය වීම නිසා වනයෙන් වැසී ගියේය. කි‍්‍ර.ව. 1834 දී බෝධිමළුවේ පරිශුද්ධ නායක හිමියන් විසින් සොයාගෙන නැවත වැඩිදියුණු කිරීම අරඹන ලදී.

 

01) උඩකොටුව බෝධි සමීප බෙම්තොට රජමහා විහාරය

 

කොළඹ – ගාලූ පාරේ බෙම්තොට පාලම පසුකර මීටර් තුන්සියයක් පමණ ගමන් කළවිට පාරේ වම් පසින් බෙම්තොට රවුම් පාර හෙවත් රජ මාවත හමුවේ. ඒ මාර්ගයේ තවත් මීටර් සියයක් පමණ ගියවිට වම්පසින් විහාරයේ නාම පුවරුව දර්ශනය වේ.
කුඩා කඳුගැටයක් මත වූ විහාර භූමියට ඇතුළු වූ විට දකුණු පසින් පුරාණ බෝධි රාජයා දිස්වෙයි. දේවානම්පියතිස්ස රජ දවස අනුරාධපුරයේ සිට කතරගම දක්වා ගව්වෙන් ගව්ව සිටුවන ලද බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධියක් මෙය වෙයි. මෙම බෝධියෙහි එක් අත්තක හට ගන්නා සියළුම කොළ සුදු පාටය. මෙය දුර්ලභ සංසිද්ධියකි. පෘතුගීසීන් විසින් මෙම විහාරය සම්පූර්ණයෙන්ම බිමට සමතලා කළ නමුත් බෝධියට හානියක් කිරීමට ඔවුන්ට නොහැකි විය. මෙහි තැන්පත් කර ඇති ලෝකඩ බුද්ධ ප‍්‍රතිමාව ආකර්ශනීය වෙයි.
සද්ධාතිස්ස රජතුමා විසින් වැඩිදියුණු කරන ලද මෙම විහාරය පෘතුගීසීන් විසින් විනාශ කරන ලද අතර, මෙම පෙදෙස ජනශුන්‍ය වීම නිසා වනයෙන් වැසී ගිය අතර, කි‍්‍ර.ව. 1834 දී බෝධිමළුවේ පරිශුද්ධ නායක හාමුදුරුවන් විසින් වැඩිදියුණු කිරීම අරඹන ලද අතර, ක‍්‍රමයෙන් සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්විය.

 

02) බෙම්තොට වනවාස රජමහා විහාරය

උඩකොටුව රජමහා විහාරය පසුකොට රවුම් පාරේ කිලෝමීටරයක් පමණ ගොස් යාත‍්‍රාඩුල්ල හංදියෙන් වමට හැරී මීටර සියයක් පමණ ගිය විට ක`දුමාල තුනකින් යුත් ක`දු ගැටයක් මත විහාරය ඉදිවී ඇත. මෙම විහාරයේද දේවානම්පියතිස්ස රජු දවස ඉදිවූ බව පැරණි පොත පතෙහි ස`දහන් වේ.

අතීතයේ දී වනවාස විහාරය මහ තෙරවරුගේ තපෝවනය විය.පෘතුග‍්‍රීසීන් විසින් විනාශ කරන ලද මෙම විහාරය ද වනයෙන් වැසී ගිය අතර ක‍්‍රි.ව.1834 දී නැවත සොයාගෙන අලංකාර විහාරස්ථානයක් ලෙස වැඩිදියුණු කර ඇත.

කෝට්ටේ යුගයේදී ලියවුණු සංදේශ කාව්‍ය සෑම එකකම පාහේ වනවාස විහාරය වර්ණනා වී ඇත. වනවාස පිරිවෙන අති ප‍්‍රසිද්ධය. මෙහි උගත් විදෙස් පඬිවරුන් වූ ආර්.සී. චිල්ඩර්ස් සහ රීස් ඬේවිස් විසින් අරඹන ලද පාලි පොත් සමාගම මගින් පාලි බෞද්ධ පොත්පත් රාශියක් ඉංගී‍්‍රසි භාෂාවට නැඟීම නිසා බෞද්ධ ධර්මය විදෙස් රටවල ප‍්‍රචලිත වීම ඇරඹුනි.

අනුරාධපුර යුගයේ රෝපිත බෝධිරාජයා විනාශ වීම හෝ පෘතුගීසීන් විසින් විනාශ කිරීම නිසා කි‍්‍ර.ව. 1978 දී ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් අංකුරයක් කලින් බෝධිය වැඩ සිටි ස්ථානයේම රෝපණය කරන ලදී.

 

03)බෙම්තොට බෝමළුව රජමහා විහාරය

වනවාස විහාරය පසුකර රවුම් පාරේ තවත් කිලෝමීටරයක් පමණ ගියවිට පාරේ වම් පසින් වූ බෝධිමළුව විහාරය හමුවේ. තැනිතලා බිමක පිහිටි මෙම විහාර භූමියෙහි දේවානම්පියතිස්ස රජතුමාගේ අණින්, ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ මහලේනා තනතුර දැරූ සුමිත්ත ඇමති විසින් රෝපණය කරන ලද දෙතිස්බල බෝධීන් වහන්සේලාගෙන් එකක් වෙයි.

පෘතුගීසීන් විසින් මෙම විහාරය ද විනාශ කරන ලද නමුත් පුරාණ බෝධීන් වහන්සේ සහ පුරාණ විහාරගෙය ද තවම පවතී. විහාරගෙය දිරාපත් වී බිත්තිවල බදාම ගැලවීම නිසා පුරාණ චිත‍්‍ර විනාශ වෙමින් පවතී.

 

04)බෙම්තොට ගලපාත රජමහා විහාරය

බෝධිමළු විහාරය පසුකර රවුම් පාරේ තවත් කිලෝමීටරයක් පමණ ගිය විට වම්පසට අතුරු මාර්ගයක ටික දුරක් ගිය විට ගල්තලාවක් මත පිහිටි විහාරය දිස්වේ. ගල් පඩි දිගේ ඉහළට නඟින විට දකුණු පසින් සෙල් ලිපියක් දක්නට ඇත. අඩි 12 ක් දිග අඩි 5 ක් පළල මට්ටම් නොකළ ගලක රූල් ගසා පේළි 28 කින් ලියන සෙල් ලිපියකි.

මෙම විහාරය ද අනෙකුත් විහාර ආරම්භයට සම කාලයක ඇරඹිනැයි සැලකේ. දුටුගැමුණු රජතුමාට දඹදිවින් ලැබුණු කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදා වහන්සේ නමක් සද්ධාතිස්ස රජ ලවා කරවන ලද දළදා මාළිගාවක තැන්පත් කරන ලද අතර, පසුව දඹදෙණියේ රජකළ දෙවෙනි පරාක‍්‍රමබාහු රජු විසින් චෛත්‍යයක තැන්පත් කරන ලද බව සඳහන් වේ.

කි‍්‍ර.ව. 1568 නොවැම්බර් 05 වෙනි දින පෘතුගීසීන් විහාරයට ප‍්‍රහාරයක් එල්ල කර වටිනා භාණ්ඩ කොල්ල කන ලදී. නමුත් චෛත්‍යයට කිසිදු හානියක් සිදු නොවීය. විහාර භූමියෙහි තැනින් තැන ගල් කණු, මුරගල්, සඳකඩ පහන්, කොරවක්ගල්, කැසිකිළි ගල් දක්නට ලැබේ. උඩකොටුව රජමහා විහාරයේ වූ කාලි කෝවිලක ගල් උළුවස්සක් වනවාස විහාරයට ගෙනැවිත් තිබී පසුව මෑතක දී ගලපාත විහාරයේ සවිකර ඇත.

පෘතුගීසි ප‍්‍රහාරයෙන් පසුව වනගතව තිබී කි‍්‍ර.ව. 1834 න් පසු සොයා ගන්නා ලද මෙම විහාරය දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රක්‍ෂිත දියුණු විහාරයකි. පුරාණ උමං පිවිසුමක් ද මෙහි දක්නට ලැබේ.

විහාරයේ ඇති ශෛලමය ජල පෙරනය අතිවිශේෂ වූවකි.

 

05)බෙම්තොට ගනේ රජමහා විහාරය

ගලපාත විහාරය පසුකර රවුම් පාර ඔස්සේ තවත් කිලෝමීටර් දෙකක් පමණ ගියවිට දකුණු පසින් විහාරය දිස්වේ. අනුරාධපුර යුගයේ ඉදිවූ මහා චෛත්‍යයද පරසතුරු උවදුරු වලින් පසු ගරාවැටී තිබූ අතර, බෝධිමළුවේ පරිශුද්ධ නාහිමියන් විසින් සකස් කරන ලද අතර, බුදුගෙය සහ සංඝාවාසය ද ඉදිකරන ලදී. මෙහි වූ පුරාණ බෝධිය තවමත් එලෙසින්ම පවතී. මෙහි පිහිටි කන්දකුමාර දෙවොල ද, සූනියම් දේවාලය ද ජනතාව අතර ප‍්‍රසිද්ධය. බෝධිය පිහිටුවා ඇති උස් මළුව පාමුල පුරාණ උමං මාර්ගයේ පිවිසුමක් දක්නට ඇත.

පුරාවෘත ඞී.ඞී. රණසිංහ
බස්නාහිර පළාත, ගම්පහ දිස්ති‍්‍රක්කය, දොරණාගොඩ