යටවත්ත විහාරය පහළගම

0
2295

ගම්පහ නගරයේ ජා-ඇළ මාර්ගය පටන්ගත් තැනින් වමට හැරී යන පහළගම පාරේ කිලෝමීටරයක් පමණ ගමන් කළවිට යටවත්ත විහාර ළඟාවිය හැක.

වර්තමානයේ යටවත්ත විහාරය ලෙස හැඳින්වුවද මෙම විහාරය ගම්පහ  නගරය සෑදී ඇති ගම් පහෙන් එකක් වන පහළගම ග්‍රාමයට අයත් වේ.  අද වනවිට ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලාට අධ්‍යාපනය ලබාදෙන විද්‍යාරවින්ද්‍ර පිරිවෙණ මෙම විහාර භූමියේ පිහිටා ඇත.

මෙම විහාරයේ ආරම්භක පිළිබඳ නිශ්චිත සදහනක් නොමැති අතර, පිළිමගෙය සාදා නිමකර ඇත්තේ ක්‍රි.ව. 1861 (බු.ව. 2403) මාර්තු 21  දින ලෙස ඇති උළුවස්සක කොට ඇත.  මෙය ප්‍රතිසංස්කරණය වු දිනයක් ද විය හැකි අතර, එයට පෙර ද මෙම ස්ථානයේ මේ පුදබිම තිබෙන්නට ඇත.

මෙම ටැම්පිට විහාර ගොඩනැගිල්ල අඩි 4 ක් උඩ ගල්කණු 30 ක් මත ගොඩනංවා ඇති අතර, සම්පූර්ණ දිග අඩි 20 සහ පළල අඩි 16 ක් වේ.  මෙම විහාරය ඉදිරි පසින් විවෘත මණඩපයකි.  විහාරයේ පියස්සට සම්බන්ධවන ලෙස සාදා ඇත.  ප්‍රදක්ෂිණා පථය අඩි 2.6 ක පළලින් යුක්තව වන අතර, එය වටා අඩි 3 ක පමණ උසින් යුත් බිත්තියක් සකස්කර ඇත.  ප්‍රතිමා මන්දිරයේ පිළිමගෙය පිවිසෙන උළුවස්ස ඉදිරිපස දොරටුපාල මූර්ති දෙකකි.  එයට ඉහළින් මකර තොරණකි.  විෂ්ණු කතරගම දෙවිවරුන් සහ බණ්ඩාර නම් දෙවි රුවක් ද සිතුවම් කර ඇත.  එයට අමතරව උඩුගම්පල සෝණුත්තර නම් භික්ෂුවකගේ සිතුවමක් ද සිතුවම් කර ඇත.  එවකට මෙහි වැඩසිටි නායක ස්වාමීන් වහන්සේ නමක් බව සිතිය හැක.

පිළිම ගර්භයේ  අඩි 4.6 උස බුද්ධ ප්‍රතිමාව රැස් මාලාවකින් යුක්තය.  දෙපස බිත්තියේ විෂ්ණු සහ සමන් දේව ප්‍රතිමා සිතුවම් කර ඇත. වියන ජ්‍යාමිතික නෙලුම්මල් මෝස්තරය යොදා ඇති අතර පහන් පත්තු කිරීමට නිසා අවපැහැගැන්වී ඇත. ඊට පහල තීරුවෙන් සොළොස්මස්ථාන සිතුවම් කර ඇත.  පලහතරකින් යුක්ත වහල සිංහල උළු සෙවිලි කර ඇත. පසුකාලීන සංරක්ෂණය කරන ලද ඉදිරිපස ඇති මණ්ඩපය සෙවිලිකර ඇත.

« 1 of 4 »