යාපහුව රාජධානිය

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ, මහව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව නගරයේ සිට, සැතපුම් 3 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා ඇත. යාපහුව පර්වතයට නැගෙනහිර දිශාවෙන් පර්වතයක් සහ අවට තැනින් තැන තවත් කුඩා කඳු ගැට රාශියකි. පර්වතයේ උතුරේ සිට දකුණට බටහිර දෙසින් විහිදෙන කඳු වළල්ලකි. පර්වතයේ බටහිර කොටස ප‍්‍රපාතාකාරව ස්වාභාවිකව ආරක්‍ෂා වී ඇත. පර්වතයට සැතපුම් 1/2 ක් පමණ බටහිරින් දක්නට ලැබෙන්නේ කයිකාවල මුරපළයි. එම නිසා දේශීය, විදේශීය සතුරු බලවේගයන්ට පහසුවෙන් මුහුණ දිය හැකි බලකොටුවක් බදු යාපහුව පර්වතය ස්වාභාවිකම සුරක්‍ෂිත ස්ථානයක් බව බැලූ බැල්මට පෙනේ.

යාපහුව පර්වතය ඈතින් දිස්වන අයුරු
යාපහුව පර්වතය ඈතින් දිස්වන අයුරු

යාපහුව සහ ඒ ආසන්න ප‍්‍රදේශවලින් ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස සාධක බොහොමයක් පර්වත මස්තකයෙන්ද බෑවුමේ පවතින ලෙන්වලින්ද හමුවී තිබේ.

යාපහුව පිළිබඳව මුලින්ම ලිඛිත ඉතිහාසයේ සඳහන් වන්නේ, සුභ නැමැති සෙනෙවියා විසින් කාලිංඝ මාඝ, ආක‍්‍රමණ සමයේදී ආරක්‍ෂාව පිණිස බලකොටුවක් ගොඩනගා එහි විසූ බවයි. ෂ වන බුවනෙකබාහු රජු කි‍්‍ර.ව. 1271 දී දඹදෙණියේ රජ බවට පත්වූවත්, විවිධ දිශාවලින් එල්ල වූ අභියෝග නිසා සතුරාගෙන් මිදීමට හොඳම ආරක්‍ෂක ස්ථානයක් ලෙස පැවති යාපහුවට පලායන ලදි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකාවේ නිරිතදිග ප‍්‍රදේශයේ බිහිවූ දෙවැනි රාජධානිය බවට යාපහුව පරිවර්තනය විය.

යාපහුවේ ගෘහ නිර්මාණ

යාපහුව බලකොටුව යාපහුව පර්වතයේ ප‍්‍රපාතාකාර නොවන දකුණු සහ ගිණිකොන ප‍්‍රදේශ කෘතිම ආරක්‍ෂිත උපාය මාර්ග තුළින් ආරක්‍ෂා කිරීමට අවශ්‍ය වූ නිසා එම භූමිය, පවුරු සහ දිය අඟලින් සමන්විතව සකසා ඇත. මේවායේ නටබුන් අදද දක්නට ලැබේ.

බලකොටුවේ දකුණු සහ ගිණිකොණ ප‍්‍රදේශ පිටත සහ ඇතුළත යනුවෙන් පවුරු 02 කින් යුක්ත වූ අතර, පිටත පවුර අඩි 20 ක් පමණ උස් වූ අතර සැතපුම් 1/2 ක් පමණ දිගය. අත්තිවාරම කළුගලින් තනා ඊට උඩින් ගඩොල් බැම්මක් සාදා එම පවුර දිය අගලකින් ආරක්‍ෂා කොට ඇත. දකුණු පස මධ්‍යයේ පිහිටි ප‍්‍රධාන දොරටුව තෙක් උඩට නැග යාමට පියගැට පෙළකි. බලකොටුවේ ඇතුළත රැුකවරණය පිණිස ගල්පුවරු වලින් තනා ඇති අඩි 12 ක් පමණ උස වූ පවුරකි. එයද දිය අගලකින් වට කොට තිබේ.

ද්වාර මණ්ඩපය සහිත විසිතුරු පියගැට පෙළ

යාපහුවේ ඇති දර්ශනීයම ගෘහ නිර්මාණය වන්නේ පර්වතය පාමුල නැගෙනහිර දිශාවේ පිහිටි ඇතමෙක් දළදා මාලිගාවද තවකෙක් රජ මාළිගාව ලෙසින්ද අනුමාන කර ඇති ගොඩනැගිල්ලේ ද්වාර මණ්ඩපයයි.

මෙම ගොඩනැගිල්ලට පිවිසීම සඳහා වන සීඝ‍්‍ර නැග්ම, තරණය කිරීමට අනුගමනය කර ඇති උපක‍්‍රමය වන්නේ, පහළ බිමේ සිට එකිනෙකට උස්වන මළු හතරක් පනා බැමි ආකාරයෙන් නිර්මාණය කර ඒ එක් එක් මළුව සම්බන්ධ කරන සීඝ‍්‍ර නැග්මකින් යුතු පිටගැට පෙළ පන්ති නිර්මාණය කිරීමයි. දළදා මාළිගාව සහිත ඉහළම මළුවට පිවිසීම සඳහා වන අවසාන පියගැට පන්තියක් එහි ඉහළම පිහිටි ද්වාර මණ්ඩපයත් අතිශය කලාත්මකවූද, සංකීර්ණවූද කලාත්මක කැටයම් සැරසිලි වලින් පිරී ඇත.

මෙම නිර්මාණයේ ඉදිකිරීම් මාධ්‍යය ලෙස ඉතා නිවැරදි පරිමාණවලින් යුතු සෘජු ලෙස කපන ලද ගල් කුට්ටි සහ ගල් පුවරු යොදාගෙන ඇති බව පෙනේ. අව්වැසි ආදියට නිරාවරණය නොවූ සමහර තැන්වල දක්නට ලැබෙන රතු පැහැති වර්ණ ගැන්වූ කොටස් අනුව මෙය යම් කාලයකදී වර්ණ ගන්නා තිබූ බව පෙනී යයි. මෙම ගෘහ නිර්මාණ අංගවල දකුණු ඉන්දීය සහ කාම්බෝජියානු ආභාෂයන් පවතින බව විද්වත් මතයයි.

පියගැට පෙල ආරම්භයේ, පළමු පියගැටය මත දෙපසින් ගල්කුට්ටියේ ඉදිරි මුහුණතේ ඇතුළත බේරූ පනේලයක නර්තන විලාශයෙන් බාගෙට හිඳගෙන සිටින වාමන රුවක් බැගින් වේ. මෙම ගල්කුට්ටිය මත තැබූ තවත් එවැනි ගල් කුට්ටියක, කැටයමට නැගූ රංගනයක යෙදෙන නලගනකගේ රුවකි. සෝපානයේ දෙපසම ඇති කැටයම් බොහෝ දුරට එකිනෙකට සමානය. සෝපානයේ අත්වැල ලෙසට භාවිතාවන්නේ කිහිඹි මුහුණක් සහිත කොරවක් ගලක් වන අතර, අත්වැල මත උක්කුට්ටියෙන් සිටින සිංහ මූර්ති 2 කි. පියගැටපෙලේ දෙවන කොටසේ වාමන රූප සහ ගජසිංහ රුවක් කැටයමට නගා ඇත.

උස් මාලකයේ ද්වාර මණ්ඩලයේ පහල තීරු, බොරදමින් අලංකාර කර ඇති අතර, මධ්‍ය කොටසේ තීරුවල රංගනයේ යෙදෙන කාන්තා පිරිමි වාදකයින් සිටී. ඔවුන් අතර ගැටබෙර වැනි බෙර විශේෂයක්, උඩැක්කි, තාලම්පට, නලා, වීනා වයන පුරුෂ රූප සහ ලී කෙලියෙහි යෙදෙන, නටන, පිනුම් ගසන ස්තී‍්‍ර පුරුෂ රූප තිබේ. කොරවක්ගලට පිටතින් වන විමානයේ පියස්සේ කිහිඹි මූණක් සහිත තොරණකි. කිහිඹි මුහුණේ සිට දෙපසට ගලා යන සංකීර්ණ කැටයමින් යුතු ලියවැල් රටාවකි.

මණ්ඩපය ඔස්සේ වැටී ඇති ප‍්‍රවේශ මාර්ගයේ, මැදට වන්නට ශෛලමය උළුවස්සක් සහිත විශාල දොරටුවකි. එහි විවිධ කැටයමින් යුතු වාකවුළු දෙකක් දෙපස පවතී. මෙම ජනෙල් කවුළු ඉතා අලංකාර සියුම් කැටයම් සහිත ගල් පුවරු (දැල් කවුළු) දෙකකින් නිමවා ඇත.

ද්වාර මණ්ඩපයේ උළුවස්ස දෙපස ඇති ශෛළිමය දැල් කවුළුවක් මෙය දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශණය පිණිස තබා ඇත.
ද්වාර මණ්ඩපයේ උළුවස්ස දෙපස ඇති ශෛළිමය දැල් කවුළුවක් මෙය දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශණය පිණිස තබා ඇත.

මෙම පුවරුවේ කැටයම් සහිත කොටස් ඉතිරි වන සේ අනෙක් කොටස් පසාරු වන සේ හෑරීමෙන් මෙම විශිෂ්ඨ දැල් කවුළුව (වා කවුළුව) කළුගල් පුවරුවකින් නිර්මාණය කොට ඇත.

පරිශීලනය කරන ලද ග‍්‍රන්ථ 01. හෙළ අසිරිය, සෝමපාල ජයවර්ධන 02. යාපහුව – පුරාවිiා දෙපාර්තමේන්තුව, යාපහුව ගවේෂණ කණ්ඩායම. 03. ලංකාවේ නිරිතදිග රාජධානි, පේ‍්‍රමා නානායක්කාර. 04. ශී‍්‍ර ලංකාවේ පුරාණ රජමාළිගා, මාලිංග අමරසිංහ – සමන්ති පොත් ප‍්‍රකාශකයෝ. 05. අතීත අභිමන් හෙටටත්-ෙඓතිහාසික යාපහුව, ඊ.එම්. සෙනරත් බණ්ඩාර ඒකනායක, පුරාවිiා දෙපාර්තමේන්තුව. 06. යාපහුව පුරාණ රාජධානිය, කුසුම්සිරි විජේවර්ධන – දයාවංශ ජයකොඩි සහ සමාගම.