පොළොන්නරු යුගයේ මූර්ති

0
531

පොළොන්නරු යුගයේ මූර්ති අනුරාධපුර යුගයේ මූර්තිවලට වලින් වෙනස් මුහුණුවරක් ගෙන ඇත. මෙම යුගයේදී බලපෑ චෝල ආක‍්‍රමණ ඊට හේතු වී ඇති අතර, අනුරාධපුර යුගයේ බුදුපිළිම තුළ ඇති අධ්‍යාත්මික ලක්‍ෂණ අභිබවා උත්තුංග විලාශයක් මතු වී පෙනේ. පළල් මුහුණ, පටු නළල, පිරුණු කම්මුල් මෙම යුගයේ මූර්තිවල විශේෂ ලක්‍ෂණ වේ. චීවරයේ රැුලි සමාන්තර ද්විත්ව රැුලි ලෙස දක්වා ඇත. වජ‍්‍රාසන දැක්වීම, ප‍්‍රතිමාවල පිටුපස මකර තොරණ දැක්වීම, ෙදාරටුපාල හා සිංහ රූප දැක්වීම මහායාන ලක්‍ෂණවල බලපෑම පෙන්වයි. ප‍්‍රමාණයෙන් විශාල බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය වීම විශේෂ ලක්‍ෂණයකි. කළුගල් සහ ගඩොල් මාධ්‍ය ලෙස යොදාගෙන ඇත. ඊට අමතරව ලෝකඩ මාධ්‍යයෙන් හින්දු දේව පිළිම නිර්මාණය වී ඇත.

පොළොන්නරු යුගයේ මූර්ති පිළිබඳව විමසීමේදී බෞද්ධ මූර්ති හා හින්දු ලෝකඩ මූර්ති ලෙස ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. බෞද්ධ මූර්ති අතර පොළොන්නරු ගල්විහාරයේ මූර්ති, පොළොන්නරු වටදාගෙයි පිළිම හා පොත්ගුල් විහාර පිළිමය ඉතා වැදගත් වේ.

පොළොන්නරු ගල් විහාරයේ බුද්ධ ප‍්‍රතිමා හතරක් සහිත ගල් පර්වතය
පොළොන්නරු ගල් විහාරයේ බුද්ධ ප‍්‍රතිමා හතරක් සහිත ගල් පර්වතය
පොළොන්නරු ගල් විහාරයේ හිදි පිළිමය
පොළොන්නරු ගල් විහාරයේ හිදි පිළිමය

පොළොන්නරු ගල්විහාරය මහා පරාක‍්‍රමබාහු රජුගේ නිර්මාණයකි. මෙය 12 වන සියවසට අයත් වන අතර, ”උත්තරාරාමය” නමින්ද හැඳින්වේ. මෙහි විශාල ගල් පර්වතයක මුහුණතේ පේලියට වමේ සිට දකුණට නෙලන ලද බුදු පිළිම 4 කි. එයින් දකුණු පසින් ප‍්‍රථමයෙන් හමුවන්නේ හිදි පිළිමයකි. මෙය ධ්‍යාන මුද්‍රාවෙන් හා විරාසන ක‍්‍රමයෙන් යුතු අඩි 15 ක් පමණ උස මූර්තියක් වන අතර, පල්ලව කලා ලක්‍ෂණ අනුව නිම වී ඇත. පිහිටි ගල් තලයේ පූර්ණ උන්නතව මතුකර ඇති ප‍්‍රතිමාව පසුතලයේ ගලින් අඩක් මතුකල තොරණකි. තොරණේ සිරස් කණු 2 හා තිරස් කණු තුන කැටයමින් අලංකාර කර ඇත. තිරස් කණු කෙලවර මකර, හිස් කැටයම් කර ඇත. සිරස වටා දිගටි හැඩයෙන් යුතු ගිනිදැල් වලින් සැරසූ ප‍්‍රභා මණ්ඩලයකි. තොරණේ පසුබිමෙහි ගලින් මතු කල විමාන හතරක් තුල කුඩා ධ්‍යාන මුද්‍රාවෙන් යුතු බුදු පිළිම 4 කි.

විiාදර ගුහාවේ හිඳි පිළිමය

image107

හිදි පිළිමයට පසු හමුවන්නේ විiාදර ගුහාවේ හිඳි බුද්ධ ප‍්‍රතිමාවයි. මෙම ගුහාව තනා ඇත්තේ පර්වතය ඇතුළට හැරීමෙනි. ඒ තුළ බුද්ධ ප‍්‍රතිමාව ආසනයක් මත නිමවා ඇති පිටුපස කැටයම් සහිත තොරණකි. මෙම ප‍්‍රතිමාව පල්ලව කලා ලක්‍ෂණ අනුව නිර්මාණය කර ඇත. වීරාසන ක‍්‍රමයෙන් හා ධ්‍යාන මුද්‍රාවෙන් යුතු බුදු පිළිමය දෙපස චාමර සළන්නන් දෙදෙනෙකි. ඒ රූප දෙකට ඉහළින් අඩක් මතුකල දේවරූප කිහිපයකි. හිසට ඉහළින් ඇති ජත‍්‍රයද අගනා ශෛලමය නිර්මාණයකි. මෙහි අභ්‍යන්තර බිත්ති චිත‍්‍රවලින් අලංකාර කර තිබූ බව දැනට ශේෂ වී ඇති සිතුවම් කොටස් වලින් පැහැදිලි වේ.

පොළොන්නරු ගල් විහාරයේ හිටි පිළිමය

image111

ගල් විහාරයේ හිටි පිළිමයේ ඉදිරිපස පෙනුම
ගල් විහාරයේ හිටි පිළිමයේ ඉදිරිපස පෙනුම

විiාදර ගුහාව සමඟම ඇති හිටි පිළිමයද මතවාදයන්වලට ලක්වූ වැදගත් මූර්තියකි. ශෛලමය පද්මාසනයක් මත වැඩ සිටින බුදුන් වහන්සේ ති‍්‍රභංග ඉරියව්වෙන් යුතුය. මෙහි උස අඩි 22 අගල් 9 ක් පමණ වේ. දෙඅත් පපුව මත බැදගත් විලාශයක් පෙන්වයි. එය පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව ලෙස හැඳින්වේ. පිළිමයෙන් බුදුන් වහන්සේගේ පරිනිර්වාණය නිසා දුකින් තැවෙන ආනන්ද හිමියන් නිරූපණය වේයැයි සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. ඒ සඳහා මෙම ප‍්‍රතිමාවේ මුද්‍රාව හා ආසන්නයේ ඇති සැතපෙන පිළිමය සාධක ලෙස පෙන්වා ඇත. නමුත් කවාකාර හිසකේ, උෂ්නීෂය ළඹසවන් වැනි බුදුන් වහන්සේට පමණක් සීමාවූ මහාපුරුෂ ලක්‍ෂණ වැඩි වශයෙන් ගැබ් වී ඇති මෙම පිළිමය නෙළුම් මලක් මත වැඩ සිටින ආකාරයෙන් නිරූපණය කර තිබේ. එම නිසා මෙය බුද්ධ ප‍්‍රතිමාවක් ලෙසටද උගතුන් විසින් මත පලකර ඇත.

පොළොන්නරු ගල් විහාරයේ සැතපෙන පිළිමය

image115

image119

පිළිමයේ ගලින් නිමවූ කොට්ටය හිසෙහි බර නිසා ඇතුළට එබී ඇති ආකාරය
පිළිමයේ ගලින් නිමවූ කොට්ටය හිසෙහි බර නිසා ඇතුළට එබී ඇති ආකාරය

බුදුන් වහන්සේගේ පිරිණිවන් මංචකය හෝ සැතපෙන ඉරියව්වක් හුවා දක්වමින් පර්වතයේ දික් හැඩයට සරිලන අයුරින් අඩි 46 ක් පමණ දිගින් යුතුව නිර්මාණය කර ඇති සැතපෙන පිළිමය කළුගලට ජීවයක් එක්වන අයුරින් නිර්මාණය කර තිබේ. මෙය පූර්ණ උන්නතය, ගලින් නිමවූ කොට්ටය ශරීරයේ බර නිසා ඇතුළට එබී ගිය විලාශයක් දක්වයි. යටි පතුලේ මංගල ලකුණුද පිලිබිඹු වේ.

පොළොන්නරු වටදාගේ බුදුපිළිම

කි‍්‍ර.ව. 12 වන සියවසට අයත් සේ සැලකෙන පොළොන්නරු වටදාගෙයි සිව් ෙදාරටුවට මුහුණලා සිටින සේ තබා ඇති බුදු පිළිම හතරද, ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයන් සේ සැලකිය හැකිය. කැටයම් කරන ලද ශෛලමය ආසන මත ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසන ක‍්‍රමයෙන් වැඩහිදින ලෙස නිර්මාණය කර ඇත. පොළොන්නරු යුගයේ එන ද්විත්ව රැුලි චීවරය වෙනුවට මෙහි යොදා ඇත්තේ රැුලි රහිත අනුරපුර සමාධි පිළිමයට සමාන චීවරයකි. හිසෙහි බොකුටු හිසකෙස් පෙන්වා නැත. හිස සමතල ලෙස පෙන්වා ඇත. මෙය මෙම පිළිමවල විශේෂ ලක්‍ෂණයකි.

පොත්ගුල් විහාර ප‍්‍රතිමාව

image121

image123

පොළොන්නරුවේ පැරණි නටබුන් අතර පොත්ගුල් විහාරය ඉදිරිපිට නෙලා ඇති පොත්ගුල් විහාර ප‍්‍රතිමාවද 12 වන සියවසට අයත් දුර්ලභ නිර්මාණයකි. පිහිටි ගල හෑරීමෙන් මතුකර ඇති ති‍්‍රභංග ඉරියව්වෙන් යුතු මනාව වැඩුනු ශරීරයක් හා ප‍්‍රතාපවත් පෙනුමක් ඇති පූරුෂ රුවකි. උස අඩි 11 1/2 ක් පමණ වේ. රැුළි වැටුණු පළල් නලල් තලය තුළින් බුද්ධිමත් බව පල කරයි. දිගට වැඩුණු රැුවුලකි. උඩුකය නග්නව නිර්මාණය කර ඇති අතර, යටිකයේ පාදාන්තය දක්වා දිග ඇඳුමේ ද්විත්ව රැුලි දක්වා ඇත. නග්න උඩුකය හරහා වැටෙන පූණ නූල හැර ආභරණ කිසිවක් නිර්මාණය කර නැත. ලය දෙසට නමාගත් දෑතෙහි පුස්කොලපොත් වැනි යමක් ඇත. මේ මූර්තියෙන් පෙන්නුම් කරන පුද්ගලයා පිළිබඳව විවිධ මත පවතී. මින් පරාක‍්‍රමබාහු රජු නිරූපණය වන බවටද, දිගට වැඩුණු රැුවුල, පූණ නූල, ආභරණ රහිත බව නිසා මෙය සෘෂිවරයෙකුගේ ප‍්‍රතිමාවක් යැයිද මතයකි.

හින්දු ලෝකඩ මූර්ති

දැනට ලංකාවේ ඇති ලෝකඩ පිළිම වලින් වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය වී ඇත්තේ පොළොන්නරු යුගයේදීය. ඊට බලපානු ලැබුවේ පොළොන්නරු යුගයේ පැවති දේශපාලන තත්වයයි. එනම් ලංකාව දකුණු ඉන්දීය චෝල, පාණ්ඩ්‍ය විදේශීය ආක‍්‍රමණයන්ට යටත්ව තිබූ නිසාවෙනි. ද්‍රවිඩ නිිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කරන ලද මූර්ති ප‍්‍රථමයෙන්ම සොයාගන්නා ලද්දේ පොළොන්නරු අංක. 01 ශිව දේවාලයෙනි. මෙම ලෝකඩ නිර්මාණ තාක්‍ෂණය ඉන්දීය ආභාෂය ඇතිව පොළොන්නරු යුගය වන විට ලංකාවේ ස්ථාපිතව තිබූ බව පෙනී යයි. මෙම යුගයේ ලෝකඩ මූර්ති අතර අගනා කලා නිර්මාණ කිහිපයකි. එනම් නටරාජා රුව, පාර්වතී රූප, ශිව දෙවි රූප, ගණදෙවි රුව, සුන්දර මූර්ති, අප්පර්ස්වාමි, කාරයික්කාල් අම්මන් වැනි නිර්මාණයන්ය.

මෙම ප‍්‍රතිමා බොහෝමයක් මේ වනවිට කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනය පිණිස තබා ඇත.

නටරාජා ලෝකඩ ප‍්‍රතිමාව

image125

image127

11 වන සියවසට අයත් ලෝකඩ නිර්මාණ අතර නටරාජා රුව විශේෂ වේ. විශ්වයේ මැවීම, රැුකීම, විනාශ කිරීම හා මුදාලීම විදහා දැක්වෙන ශිව දෙවියන්ගේ ”තාන්ඩව” නර්ථන විලාශය නටරාජා නමින් හැඳින්වේ. ප‍්‍රතිමාවේ අත් සතරකි. මෙම අත් සතරෙන් විවිධ අර්ථයන් නිරූපණය වේ. එක් අතක ඇති උඩැක්කියෙන් විශ්වයේ මූලික දෙදරීමත්, අනෙක් අතේ ගිණිසිළුවෙන් මැවිල්ල හා විනාශයත්, තුන්වන අතෙහි අභය මුද්‍රාවෙන් සත්වයා බියෙන් නිදහස් කිරීමත් දැක්වෙන අතර, පොළොව දෙසට දිගුකර සිටින අතෙන්, ගජහස්ථ මුද්‍රාවත් නිරූපණය වේ.

වම්පස ඔසවා සිටින අතර, දකුණු පයින් වාමනයෙකු පාගාගෙන සිටී. එයින් අවිiාව දුරුකිරීම අර්ථවත් කෙරේ. දෙපසට විහිදී ඇති හිසකෙස් අතර නාගයෙකි. හිසෙහි පැළඳ සිටින ඔටුන්නෙහි හිස් කබලක්, අඩසඳක් හා කිඳුරු රූපයකි. දකුණු කනෙහි පුර්ෂ කර්ණාභරණයකි. වම් කනෙහි ස්තී‍්‍ර කර්ණභරණයකි. ජව සම්පන්න අංග චලනය විදහා දැක්වෙන මූර්තියකි. ප‍්‍රතිමාවට අමතරව පොළොන්නරු යුගයෙන් මීට වෙනස් ලෙස නිමවූ තවත් ප‍්‍රතිමාවක් පොළොන්නරු යුගයෙන් හමුවී ඇත.

image129

පොළොන්නරුවේ නටබුන් අතරින් හමුවී ඇති වෙනත් ස්වරූපයකින් නිමවා ඇති නටරාජා ලෝකඩ ප‍්‍රතිමාවක්

පාර්වතී දේවියගේ ලෝකඩ ප‍්‍රතිමාව

image131

ශිව දෙවියන්ගේ භාර්යාව උමයංගනාව හෙවත් පාර්වතී නමින් හැඳින්වේ. පොළොන්නරුවේ නටබුන් අතරින් මෙම පාර්වතී රූප කිහිපයක් හමුවී තිබේ. ඉන් අංක. 1 ශිව දේවාලයෙන් හමුවූ පාර්වතී රූපය ඉතා කලාත්මක නිර්මාණයකි. අසුනක වාඩිවී එක් කකුලක් නවා ආසනය මත තබා අතින් මානෙල් මලක් ගෙන තිවංක හැඩයෙන් යුතු පාර්වතී රුව තුළින් නාරි ලාලිත්‍ය මනාව ඉස්මතු වී පෙනේ. කාන්තාවකගේ නම්‍යශීලී බව, මෘදු බව, කෝමල බව ලෝකඩ මාධ්‍ය තුළින් ඉස්මතු කිරීමට ශිල්පියා සමත් වී තිබෙන ආකාරය අනර්ඝය.

සුන්දර් මූර්ති ලෝකඩ ප‍්‍රතිමාව

10 වන සියවසට පමණ අයත් තිභංග ඉරියව්වෙන් යුතු මෙම ප‍්‍රතිමාවේ මුහුණින් භක්තිය විදහා දක්වයි. ආභරණයන්ගෙන් සැරසුන සිටගත් පුරුෂ රුවකි. මෙය සුන්දර් මූර්ති නමින් හැඳින්වේ.

අප්පර්සාමි ලෝකඩ ප‍්‍රතිමාව

උදැල්ලක් කරෙහි එල්ලාගෙන නමස්කාර විලාශයකින් නිර්මාණය කර ඇති මූර්තිය ශිව භක්තික අප්පර්ස්වාමි ලෙස හැඳින්වේ.

කාරයික්කාල් අම්මන් ලෝකඩ ප‍්‍රතිමාව

image133

image135

මෙම මූර්තිවලට හාත්පසින්ම වෙනස් රසයක් ඉස්මතු කරන මූර්තියක් හමුවී ඇත. එය කාරයික්කාල් අම්මන් ලෙස හැඳින්වේ. මෙයද ලෝකඩ මූර්තියකි. කෘෂ වූ සිරුරකින් හා හැඩපළු ගෙතුන විහිදී ගිය කොස් කළඹකින් යුතු පිළිකුලක් ජනිත කරවන කාන්තා රුවකි. විශාල තෝඩු හා ඇට මාලයක් පැළද සිටී. දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මෙම රුවත් කාලි දෙව්දුව නිරූපණය වන බව විද්වත් මතයයි.

මීට අමතරව ගණදෙවි ලෝකඩ ප‍්‍රතිමාවක්, සරස්වතී ලෝකඩ ප‍්‍රතිමාව, සිඛී වාහන ලෝකඩ ප‍්‍රතිමාව, බාලකි‍්‍රෂ්ණ ලෝකඩ ප‍්‍රතිමාව, චණ්ඩෙශ්වර ලෝකඩ ප‍්‍රතිමාව, විෂ්ණු දෙවියන්ගේ ලෝකඩ ප‍්‍රතිමාව, සෝමස්කන්ධ මූර්ති ශිව ලෝකඩ ප‍්‍රතිමාව, බටුක ෙභෙරව ශිව ලෝකඩ ප‍්‍රතිමාව සහ වාඩි වී සිටින ඉරියව්වකින් යුතු දෙව්දුවකගේ ලෝකඩ ප‍්‍රතිමාවක්ද ඇතුළුව පහත ලෝකඩ ප‍්‍රතිමා පොළොන්නරු යුගයෙන් හමුවී තිබේ.

ගණදෙවි ලෝකඩ ප‍්‍රතිමාවක්

image137