Wijesundhararamaya Dambadeniya

0
56

මීගමුව කුරුණෑගල පාරේ දඹදෙණිය නගරයෙන් වමට හැරී යන මාවතෙහි මීටර් 500 ක් පමණ දුරකින් පිහිටා ඇත.

පොලොන්නරුව අගනගරයව පැවති යුගයේ කාලිංග මාඝගේ ආක්‍රමණයත් සමඟම සිංහල රජවරු තම රාජධානිය නිරිතදිග දෙසට සංක්‍රමණය කළ අතර, තුන්වන විජයබාහු රජු 1232 -36  දඹදෙණිය අගනුවර ලෙස පිහිටුවා රාජ්‍ය සංකේතය වූ දළඳා වහන්සේද රැගෙන විත් ස්ථාපනය කොට දඹදෙණිය රාජධානිය පිහිටුවා ගන්නා ලදී.  මෙම රාජධානිය පර්වත ඇසුරුකොට ගෙන නිර්මාණය කරන ලද අතර, දළඳා මැදුරු දෙකක් වශයෙන් පැවති බවද, එයින් එකක් පර්වතය මුදුනේද, අනෙක විජයසුන්දරාරාම භූමියෙහි පැවති අතර එය ටැම්පිට විහාරයක් බවට පත්වී ඇත.

විජයසුන්දරාරාමය වෙත පිවිසීමට කළුගල් පියගැට පෙළකි.  අනතුරුව පිවිසෙන වාහල්කඩෙහි වූ ගල් උළුවස්ස විශේෂත්වයක් ගනී.  කලුගල් ටැම් හතරයක් මත පිහිටි හතරැස් හැඩති පියස්සකින් යුක්ත වන අතර එය පෙති උළු සෙවෙළි කර තිබේ. විහාර මලුවට පිවිසෙන මධ්‍යයෙහි ‍නෙලුම්මල් කැටයමින් යුත් සඳකඩ පහණකි.  කලුගල් ප්‍රාකාරයකින් වටවුණු බෝධි වෘක්ෂය, ටැම්පිට විහාර, නව විහාර මන්දිරය සහ පුරාණ චෛත්‍යඝරය ද වේ.

පියරජුගේ ඇවෑමෙන් පසු දෙවන පරාක්‍රමබාහු රජවිසින් ඉඳිකරන ලදැයි සැලකෙන දළදා මැදුර මුලින් තෙමහල් පැවති අතර පසුව දෙමහල් ටැම්පිට විහාරයක් බවට පත්වී ඇත.  මෙම ගොඩනැගිල්ල හේවිසි මණ්ඩපය සහ ප්‍රතිමා මන්දිරයක් ලෙස කොටස් දෙකකි. මෙම ප්‍රතිමා මන්දිරයට පිවිසෙන තැන  හේවිසි මණ්ඩපය දිගින් අඩි 20.6 සහ පළලින් 17.6 යුක්ත වන අතර එම පියස්ස දරා සිටිනුයේ කළුගල් කුළුණු 10 කිනි.  පසුව එය වටා කොට බිත්තියක් සාදා ඇති බව පෙනී යයි.  හේවිසි මණ්පයට පිවිසෙන තැන පියගැටපෙල දෙපස චාම් කොරවක් ගල් දෙකක්, සඳකඩ පමණක් සහ බිත්තිය දෙපස කලුගල් කැටයම් පුවරු දෙකකි.  ටැම්පිට විහාර මන්දිරයට පිවිසෙන තැන ද නෙලුම් පෙති කැටයමින් යුත් සඳකඩ පහණකි.  මෙම විහාර මන්දිරය ඉඳිකර ඇත්තේ බොරදම් බේරූ කළුගල් පදනමක මතය. එය වටා අඩි 3 පමණ පදක්ෂිණා පථයකි.  විහාර මන්දිරයට පිවිසෙන තැන චන්ද්‍රවංකය සහිත දැව උළුවස්සකි.  එයට ඉහළින් හංසපූට්ටු කැටයමක් දක්නට ලැබේ.  උළුවස්ස දෙසප මල් බඳුන් අතින් ගත දොරටුපාල රූප දෙකකි.  විහාර මන්දිරයේ මකර තොරණ යට හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් දක්නට ලැබේ.

දැව තරප්පු පෙළකින් පිවිසිය හැකි ඉහළ මාළයේ ප්‍රදික්ෂිණා පථය අඩි 2 .2 පමණවේ. බීරළු වැටක් දැව කණු ආධාර කොට සකසා ඇති අතර, ප්‍රවේශ දොරටුව දෙපස දොරටුපාල මූර්ති දෙකකි.   එකක් දෙවැනි පරාක්‍රමබාහු රජුගේ සිතුවමක් හා පසුව විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කරවු මීගස්තැන්න අදිකාරමගේ රූපයක් නිරූපිතය පෙනේ. මෙම මහලේ බිත්තිවල ඉහළ දළඳා වහන්සේගේ ප්‍රාතිහාර්ය සහ මුතුදැල් මෝස්තරයත් ලියවැල් සහ නෙලුම්මල් අතින්ගත්  ශ්‍රාවක රූපයත්, දළඳා පෙරහැර දැක්වෙන චිත්‍ර දක්නට ලැබේ.

චේතිඝරය

වර්තමානයේ කුඩා චෛත්‍ය ඇති ස්ථානයේ 11 විජයබාහු රජු යුගයේ දළදා වහන්සේ තබන්නට ඇතැයි පුරාවිද්‍යා මතයක් ඇත.  එහි සිංහමුහුණ ඇති ගල්ටැඹක් මත දළඳා කරඩුව තැබුවායැයි ඔවුනගේ මතයයි.  ගල්කණු 6 උඩ අඩි7 ක් පමණ වන ආධාරයෙන් හතරැස් වහලයක් තුල මෙම කුඩා චෛත්‍ය නිර්මාණය කර ඇත.  එහි හතරැස් කොටුවට පහලින් බෝපත්‍ර 4 ක් පහතට වැටෙන අයුරින් නිර්මාණය කර ඇත.