Dhematamal Viharaya

0
86

ඌවේ ඔක්කම්පිටිය ග්‍රාමයෙහි අක්. 06 ක ඉඳිකරන ලද මෙම ඓතිහාසික දෙමටමල් විහාරය පරිසරයට ඇලුම්කරන කාගේවුව ද සිත් අමන්දානන්දයට පත්කරවන බොදුනුවන්ගේ හදවත් තුළ පහන් සිත උපදවන ඉතාමත් රමණීය වූ පුණ්‍ය භූමියකි.

මහානාග, කාවන්තිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස යන රජවරුන්ගේ පාදශ්පර්ශය ලැබූ ශ.ව. 20 කට වඩා ඉපැරණි රාජපූජිත දෙමටමල් විහාරය, ඓතිහාසික වටිනා කමකින්යුත් බෞද්ධ සිද්ධස්ථානයකි.

දෙමටමල් විහාරය ඉතාමත් චිත්තාකර්ශණිය වේ.  මෙම නම ඇසෙන පමණින්ම අපගේ සිත් දිවයන්නේ ඉතාමත් සුවිශේෂී සොදුරු අතීතයක් කරාය.  සොලීන්ගෙන් රට මුදවාගෙන ලක්දිව එක්සේසත් කර බුදුසසුන බැබලවීමේ එක අභිප්‍රායෙන් කටයුතු කළ ඒ උදාර දුටුගැමුණු මහරජතුමා හා රාජ්‍ය ලෝභත්වයෙන් අක්‍රමික සතුරන්ගේ බහට රැවටී තම සොහොයුරා සමඟ සටන් වැදුන සද්ධාතිස්ස කුමරා පිළිබඳවයි.

මේ විහාරස්ථානයට නුදුරින් ඇති යුඳගනාව වෙහෙර පිහිටි ස්ථානයේ ගැමුණු හා තිස්ස දෙසොහොයුරන් සටන් වැදුනු බවත්, සටනින් තිස්ස කුමාරය පැරදී ජීවිතාරක්ෂාව සඳහා පලාගොස් ඒ සමීපවම පිහිටි දෙමටමල් විහාරයට ගොස් මහතෙරුණ් වහන්සේ හමුවී ඇතිවූ තත්ත්වය කිසා තමාව බේරාගන්නා ලෙස ඇයද සිටිබවත්, මහතෙරුණ් වහන්සේ තිස්ස කුමරුව තමාගේ ඇඳ යටට යවා ඔහු නොපෙනෙන ආකාරයට ඇඳ ඇතිරිලි දමා ඇඳ වසාදමා ඇත.  දුටුගැමුණු රජතුමා ද සේනාව සමඟ ඔහු ලුහුබැද දෙමටමල් විහාරභූමිය වටකොට සේනාව රඳවා සංඝාවාස තුළට ගොස් මහතෙරුණ් වහන්සේට පසඟ පිහිටුවා වැද තිස්ස සිටිනේනේ කොහේදැයි විමසූවිට  මහ රජතුමනි, තිස්ස ඇඳ මත නැත කියා පිළිතුරු දුන්පසු තිස්ස ඇඳමත නැතිනම් ඇඳයට ඇතැයි රජු වටහා ගත්තේය.  රජතුමා දෙවන වර මහතෙරුණ් වහන්සේට වැඳීමට පහත්වූ විට ඇඳ ඇතිරිල්ල  යටින් තිස්ස කුමරුගේ මාපට ඇඟිල්ල කෙළවර දුටු බැවින් දෙමටමල් විහාරය වටා රැකවල් තව තවත් තරකොට තමා ද දොරටුව අසල සිටගත්තේය.  මඳවේලාවකට පසු සාමණේරයන් වහන්සේලා සතර නමන් අපවත් වු තෙරනමක් ගෙන යන්නාසේ , ඇඳක් ද ඔසවාගෙන දොරටුව අසලට පැමිණි පසු, එහි සිවුරකින් දේහය වසා ඇති ආකාරය දුටු රජතුමා මේ යන්නේ තිස්ස කුමාරයා බව වටාගත්තේය.  තිස්ස කුලදේවතාවනුගේ කරපිටින් යන්නේ, උන්වහන්සේලාගේ අතින් නුඹව පැහැර නොගන්නෙමි.  එසේ පැහැර ගැන්ම බුදුසසුනෙහි පහන් වූ තුණුරුවන් අදහන අපවැන්නවුන්ට  සුදුසු නොවේ.  “කුලදේවතාවුන් නුඹට කළ උපකාරය දිනපතාම සිහි කරව”  යි කීහ.

රජතුමාට අවශ්‍යවූයේ සිංහල සේනාවක් රැකගෙන තම සොහොයුරා හා රට තුළ පවතින මේ වියවුල් සමතයකට පත්කර දෙමළ සටන ආරම්භ කිරීමටයි.

මෙවන් උදාර රජවරුන්ගේ පහස ලද දෙමටමල් විහාරය කොතරම් පූජනීය ද රජතුමා තිස්ස කුමරු හඳුනාගත් නිසා දුටුමල් >දෙටුමල්> දෙමටමල් වශයෙන් බිඳී ව්‍යවහාරයට පැමිණි බව ජනප්‍රවාදයේ පවතී.

මේ විහාරය ආරම්භය දේවානම්පියතිස්ස රජුගේ මළනුවන් වන මහානාග යුවරජුට සම්බන්ධ  ජනප්‍රවාදයක් ද ඇත.  ඔහු ඉඳිකළ බැවින් දෙටුමල් දෙමටමල් වූ බවද කියවෙයි.

විරසකව සිටි ගැමුණු සහ තිස්ස දෙසොහොයුරන්  සමඟි කරවූ ත්‍රිපිටක විශාරද “යෝධගත්ත තිස්ස” හිමියන්  වැඩසිටි විහාරයද මෙය බවයි සඳහන් වන්නේ.  ජනප්‍රවාදයට අනුව ගැමුණු කුමාරයගේ පෙර ආත්මය බව කියන  විහාරමහා දේවියගේ කුසඋපන් රෝගීව සිටි කුඩා සාමණේර නම වැඩසිටියේ ද මේ විහාරයේ බවද, මලියදේව මහරහතන් වහන්සේ මෙහි වැඩ සිටි බවත්, ඡක්ක‍ සූත්‍රයෙන් ධර්මය දේශනාකොට භික්ෂුන් සැට නමකට රහත්ඵලය ලබාදුන්නේ මේ විහාරස්ථානයේ දී බවද සඳහන්ය.

දෙමටමල් විහාරයේ සිටි නැගෙනහිර දිසාවට සැතපුම් භාගයක් පමණ වන්නට ඇති සෙල්ලිපියෙහි රජු විසින් විහාරයට පීදු ගම්පියසක් ගැන සඳහන්ය.

යහපතක් වේවා! ගාමක (ගාමිණී) අභය රජුගෙන් විහාරයට ගම් සියයක බුක්තිය පිදූ බවයි පරණවිතාන මහතා ක්‍රි.ව. 4 වැනි සියවසට අයත් අපර බ්‍රාහ්මී අක්ෂරයට අනුව “ගෝඨකඅබ” ගෝඨාභය ලෙසත්,  මෙම යෙදුම “ගාමක අබ” ගාමිණීඅබය ලෙසත් ම්‍යුලර් විසින් හඳුනාගෙන ඇත.  කාවන්තිස්ස රජුගේ පියාද ගෝඨාභය නැමැත්තෙකි.  එහෙත් ඔහු බොහෝ කාලයකට පෙර රුහුණේ  පාලනය මෙහෙය වූ අයෙකි.  කාවන්තිස්ස රජු විසින් “දෙමටමල්” නමින් විහාරයක් ඉඳිකළ බව කියවෙන අතර ඓතිහාසික මූලාශ්‍රවල අවසන් වරට මේ නම සඳහන් වන්නේ මහාපරාක්‍රමබාහු රජුගේ භට පිරිස සතුරු සේනාව ඉදිරියේ “දෙමටවල”  නම් ස්ථානයට පසුබැස ගිය බවයි.  කාවන්තිස්ස රජු විසින් “ගමිට්ඨ වාලී”  නමින් විහාරයක් කරවූ බවද ලංකාවේ ඓතිහාසික ස්ථාන පිළිබඳ විස්තර සපයන් සී.ඩබ්ලිව්. නිකලස් මහතා “ගම්ට්ඨවාලී”  හා “දෙමටමල්”  යන නම් සැසඳෙන බවත්, ඒ නම් දෙකින්ම හැඳින්වෙන්නේ එකම ස්ථානයක් බවත් පවසයි.

ක්‍රි.ව. 2 වැනි සියවසේ සිට 12 වැනි සියවස දක්වා දර්ඝ කාලයක් තුළ දෙමටමල් විහාරය පිළිබඳ වාර්තා වූ බවත්, වරින් වර  ප්‍රතිසංස්කරණවලට හා නව ඉඳිකිරීම්වලට භාජනය වූ බවත්, පොලොන්නරුව යුගය වනවිට ඉතා ජනප්‍රිය හා දියුණු ආරාමයක් ලෙස තිබී පසු කාලයේ සතුරු ආක්‍රමණ නිසා හෝ වෙනත් ස්වභාවික විපත්වලට භාජනය වන්නට ඇතැයි සිතිය හැක්කේ  පොළොන්නරු යුගයෙන් පසු දෙමටමල් විහාරය පිළිඳව ඓතිහාසික වාර්තාවක් දක්නට නොලැබෙන නිසයි.  කාලයත් සමඟ අභාවයට පත්ව තිබූ මෙම ස්ථානය විසිවැනි සියවස මුල්භාගයේ යලි එළිපෙහෙලි වන්නට වූ අතර 1974  නොවැම්බර් මස නිකුත් කරන ලද රජයේ ගැසට් නිවේදනය මගින් දෙමටමල් විහාරය පුරාවිද්‍යා භාරයට පත්කෙරින.

මෙම විහාරය තැනිතලා භුමියක පිහිටි බැවිනුත්, චෛත්‍ය ඈතට ප්‍රදර්ශනය වීම පිණිසත් මීටර් 2.35 උසින් ද මීටර් 30.5 දිගින් ද සමචතුරස්‍රාකාරව ගඩොලින් බැඳි වේදිකාවක් මත ස්ථූපය  ඉඳිකර තිබී ඇත.  වේදිකාව උඩට නැගීමට පියගැටපෙළ හතරක් සතර දිසාවෙන් ඉදිකර තිබුනත් අද ඇත්තේ බටහිර දිසාවෙන් එක් පියගැට පෙළක් පමණි.  ගල්පඩි පහළොවකින් සමන්විත මෙම පියගැටපෙළ මුදුනෙහි වාහල්කඩක නටබුන් දක්නට ඇතත් අද එහි ඇත්තේ ගල්කණු කීපයක් පමණි.  වැලිමළුවක් ඊට ඔබ්බෙන් සලපතල මළුවක් එක සමාන මට්ටමකින් ඉඳිකර ඇති අතර එහි මධ්‍ය ලක්ෂය ස්පර්ශ වන පරිද් ස්ථූපයේ  පාදම නිර්මාණය කර ඇත.  පැරණි ස්ථූපයේ යුගල කොටස් දෙකකට කැඩී වේදිකාව මත බිම වැටී තිබී ඇත.  1975 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පැරණි වේදිකාව මත මුලින් තිබූ අයුරින්ම  ප්‍රතිසංස්කරණය කර ඇත බව කොත්කැරැල්ලේ හා දේවතාකොටුවෙහි බටහිර දිගින් නිරාවරණය කර ඇති කොටසින් දැකගත හැකිය.   ස්ථූපයේ උස අඩි 75 ක් වන අතර පේසා වළලු තුන බුබ්බුලාකාර ස්ථූපයේ උඩ අඩි 75 වන අතර, පේසා වළලු තුන බුබ්බුලාකාර ස්ථූප ගර්භය, හතරැස් කොටුව, කොත්කැරැල්ල, කොත හා චූඩාමාණික්‍යය යන ස්ථූපයට අවශ්‍ය අංග ලක්ෂණවලින් සමන්විතය.

පංචාවාස විහාරයක් වන මෙය පැරණි ඉඳිකිරීම් සැළසුම අනුව එකකට එකක් උස් හා පහත් වන පරිදි සකස්කළ මළු දෙකකින් යුක්තය.  ඉහළ මළුවෙහි පූජණියත්වයෙන් වඩා උසස් ලෙස සැළකූ ගොඩනැඟිලි චෛත්‍ය රාජායාණන් වහන්සේ, ප්‍රතිමාගෙය, සීමාමාලක, බෝධීන් වහන්සේ ඉඳිකර තිබී ඇත.

ආරම්භක භික්ෂූන්ගේ වාසය සඳහා පැරණි ආවාස කුටි 44 ක් පහත මළුවේ සෘජුකෝණාස්‍රාකාරව දෙපෙළකට බෙදා ඉඳිකර ඇත.  ප්‍රවේශ මාර්ගයේ ඇති තොරණත්, (වර්තමානයේ භික්ෂූන් වහන්සේලා වැඩවාසය කරන) සංඝාවාසත්, ධර්මශාලාවත් මෑතකිදී ඉඳිකරන ලද ඒවාය.

මෙහි තිබූ පැරණි උපෝසතාඝරය කාලයාගේ ඇවෑමෙන් ගරාවැටී හඳුනාගත නොහැකි තත්ත්වයක තිබූ නිසා 1953 එම අත්තිවාරම මත විහාර මන්දිරයක් හා දේවාලයක් ඉඳිකර ඇත.  විහාර මන්දිරය ඇතුළුමාලය පිටමාලය නම් කොටස් දෙකකින් යුක්තය.  එහ පිට මාලයේ  ප්‍රවේශ දොරටුව ඉහලින් මකර තොරනක්ද ඇතුළු මාලයේ  උස අඩි 10 ඔත් බුදුපිළිමයක් හා බිතුසිතුවම් වලින් අලංකාර කර ඇත.

මේ භූමිය පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ භාරයට පත්වීමෙන් පසු කරන ලද කැණීම් හා ගවේෂන මගින් නිසැක ලෙසම මේ ගොඩනැගිල්ල පැරණි උපෝසතඝරය මහල් කීපයකින්, අවම වශයෙන් මහල් දෙකකින්වත් ඉදිකර තිබෙන්නට ඇතැයි, ඒ ස්ථානයෙහි තිබී හමුවූ ගල්කුළුණු හා පැරණි කළුගල් පුවරුවෙහි කෝණාකාරව කපන ලද සිදුරු උඩුමහලට නැගීම සඳහා භාවිතාකළ පියගැට පෙළෙහි, පහළ කොටස මේ කළුගල් පුවරුවේ එම සිදුරුවලට සම්බන්ධ කර තිබිනැයි, ඔවුහු විශ්වාස කරති.  දැනට මේ කළුගල් පුවරුව ප්‍රතිසංස්කරණය කරන ලද විහාර මන්දිරයේ දකුණු කොටසෙහි තබා ඇත.

කැණීම්වලින් මතුකරගත් මෙහි පැරණි අත්තිවාරමට අනුව උපෝසතඝරය දිගින් මීටර් 21 ද, පළලින් මීටර්      16.23 ක් ද, උසින් මීටර් 0.80 ක් ද වන සෘජුකෝණාස්‍රාකාර කළුගල් වේදිකාවක් සහිත අත්තිවාරමකින් යුක්ත ගොඩනැඟිල්ලකි.  වේදිකාව මත පිහිටුවා ඇති කළුගල් කුළුණු 24 කි.  එම කුළුණු මත ද, සෙසු මහල් ලීයෙන් ඉඳිකර තිබෙන්නට ඇත. එහි පාදම ගඩොලින් කරන ලද්දකි.

උතුරු දිශාවේ සිට බස්නාහිර දිසාවට විහිදෙන පරිදි ඉඳිකර ඇති ප්‍රවේශවන ප්‍රධාන දොරටුව නැගෙනහිර දිසාභිමුඛව හරිමැදින් තබා ඇති ඉතාමත් විසිතුරු කැටයමින් අලංකාර කරන ලද්දකි.  පියගැට හයකින් සමන්විතය.  පියගැටවල ඉදිරිපස මුහුණතෙහි බහිරව රූප තුන බැගින් කැටයම් කරන තිබෙන අතර පියගැටපෙළ බිමට සම්බන්ධ වන ස්ථානයේ දෙපස අලංකාරවත් කැටයමින්  යුක්ත මුරගල් දෙකක් හා සාම්ප්‍රදායික  මෝස්තරවලින් අලංකාර කොරවක්ගල් දෙකකින් ද යුක්තය.

තවමත් ඉතා මැනවින් ආරක්ෂා වී ඇති මුරගල්වල ඇති නාරජුගේ රූප මකර තොරණකට හා විශාල මන්දිරයට මධ්‍ය වන ලෙස නිරූපනය කර තිබේ.  නාරජු තිවංක ඉදිරියව්වෙන් පෙනී සිටි යටිකය ඇඳුම්වලින් ආවරණය කර ඇති අතර උඩුකය ආභරණ පළඳවා සරසා තිබේ.  නාරජුගේ හිසවටා පෙන හතක් ද පහතට හෙළන ලද දකුණතෙහි දළුලද අත්තක් ද උරහිසතෙක් ඔසවන ලද වමතෙහි පුන්කළසක් ද, දරාසිටින පරිදි අලංකාර අයුරින් කැටයම් කර ඇත.  ඊට පහළින් ඇති මුරගලෙහි වාමන රූපයක් ද පියගැටපෙළ ඉදිරිපස තිබෙන සඳකඩපහණ ද කැටයමින් අලංකාර කර ඇත.

උපෝසතඝාරයෙහි කැණිම්වලින් සොයාගත් චිත්තාකර්ශනීය නිර්මාණය නම් පසෙක තබා ඇති සිංහරූප දෙකයි.  පසුපාදවලට බරදී, ඉදිරිපාදවලින් සිටගෙන සිටින ආකාරය නිරූපනය වන පරිදි හුණුගල්වලින් නිර්මාණය කර ඇති මේ සිංහරූප දෙක පැරණි ගොඩනැඟිල්ල තුල රැස්වෙන වර්ෂා ජලය සිංහයාගේ මුඛයේ ඇති සිදුරුවලින් පිටවීමට සළසා තිබෙන්නට ඇත.

පුරාවිද්‍යා භාරයට පත්වන්නට පෙර පිළිමගේ පැරණි අත්තිවාරම මත ධර්මශාලාවක් ඉඳිකර තිබිණ.  කැණීම්වලින් නිශ්චිත ලෙසම එය පිළිමගෙයට අයත් අත්තිවාරම යයි හඳුනාගෙන ඇත.  අනතුරුව ධර්මශාලාව එතනින් ඉවත්කර පැරණි සැළසුම් අනුව ප්‍රතිසංස්කරණය කරන ලද පිළිමගෙය දැන් දැකගත හැක.  මෙම පිළිමගෙය පැරණි ගන්ධකුටි සැළසුමට බෙහෙවින් සමාන බවයි පුරාවිද්‍ය ගවේශන මගින් හෙළිකරගෙන ඇත.  අඩි 4 ක් උස කළුගල් වේදිකාවක් මත ඉඳකර තිබෙන ප්‍රතිමාගෘහයෙහි සම්පූර්ණ දිග අඩි 60 ක් හා පළල අඩි 30 ක් වේ.  එය ප්‍රවේශය හා ඇතුළුගෙය යන අංග දෙකකින් සමන්විත අතර,  ප්‍රවේශ  කොටස දිගින් මීටර් 9.25 ක් ද පළලින් මීටර් 8.25 ක් ද වන හතරැස් එකකි.  පිළිමගෙයට ප්‍රවේශ වන ප්‍රධාන දොරටුව නැගෙනහිර  දිසාභිමුඛව පිහිටුවා ඇත්තේ ප්‍රවේශ කොටසෙහිය.  තරමක් විශාල එම දොරටුවෙහි උස් කොතරම්වේදැයි කිවනොහැකි වුවත් පළල මීටර් 1.75 ක් පමණ වෙතැයි අනුමාන කළ හැකිය.  ප්‍රවේශ මාර්ගයේ  සවිකර ඇති දැනට ශේෂව පවතින කළුගල් පුවරුවෙහි සිදුරු පරීක්ෂා කිරීමෙන් එවැනි නිගමනයකට පැමිණිය හැකි බවත් පැරණි ලී දොර එම ගල් පුවරුවෙහි සිදුරුවලට සවිකර තිබෙන්න ඇති බවත් කියැවේ.

උතුරු දිසාභිමුඛව පිහිටා තිබෙන දොරටුව බැතිමතුන්ට පිටවීම සදහා භාවිතා කරන අතර ප්‍රධාන දොරටුව  වඩා තරමක් කුඩා එකකි. එහිද උස තීරණය කළ නොහැකි වුවත් පළල මීටර් 1.12 කි.  මෙම දොරටු දෙකම පියගැට පෙළ දෙකකට සම්බන්ධ කර තිබෙන්නට ඇතිමුත් ප්‍රධාන දොරටුවෙහි  පියගැට පෙළෙහි ශේෂ ව කිසිවක් දැනට හමුවී නැත.  උතුරු දොරටුවෙහි කළුගල් නිර්මාණය කර ඇති පියගැටපෙළ කොරවක්ගල්, මුරගල් හා සඳකඩපහණ යන සෙසු අංගවලින්  අලංකාර වී තිබේ.  කැටයම් රහිත එම මූර්ති රේඛා පමණක්  යොදා චාම්ව සකස්කර ඇත. ප්‍රවේශ කොටසට සම්බන්ධ වන පරිදි බටහිර දිසාවට විහිදී යන ලෙස නිර්මාණය කර ඇති අභ්‍යන්තර ගර්භය දිගින් මීටර් 12.70 ක් සහ පළලින් මීටර් 13.10 ක තරම්වන සතරැස් කොටසකි.  මෙහි තිබී යන්ත්‍රගල් දෙකක් හා පද්මාසනයක් හමුවී ඇත.

කැණීම්වලින් මතුකරගත් බෝධිමාලකය භූමි මට්ටම් තුනකින් යුක්ත අතර, සමචතුරස්‍රාකාර ගඩොල් බැමි තුනකින් වෙන්වන පරිදි සකස්කර ඇත.  අද එහි බෝධීන්වහන්සේ දක්නට නැත.  බෝධිමාලකයෙහි ඉහළම මාලකයට ප්‍රවේශවීමට අවසර නොවූ බව හමුවී ඇති කැණීම් සාක්ෂිවලින් හෙළිවේ.  දෙවෙනි හා තෙවෙනි මාලයන්ට පිවිසීමටත් පුදපූජා පැවැත්වීමටත් හැකියාව තිබී ඇත.  බෝධිමාලකයේ ඉහළ භූමි මට්ටමෙහි මධ්‍ය සිදුකළ කැණීම්වලදි “ බරණීය”  නමින් හැඳින්වෙන විශාල මැටිභාජනය ක කොටසක් ද ඊට යටින් නිදන් කර තිබූ හිටි බුදුපිළිම මධ්‍ය ඇතුළු වස්තු රාශියක් ද හමුවී ඇත.  කැණීම්වලදී බෝධියක් පතුලේ වස්තු නිදන් කර තිබී හමුවූ ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි.

පහත මළුවේ නේවාසික භික්ෂූන්ට වැඩසිටීම සඳහා මුල් කාලයේ ඉඳිකරන ලද කුටිවල නටබුන් දැනටත් දක්නට ඇත.  ඉහළ මළුව මධ්‍ය චතුරස්‍රයක් වනසේ ඒ වටා සතර දිසාවෙන්ම දෙපෙළකට ඉදිකළ කුටි 44 ක් තිබෙන්නට ඇතැයි ද, දැනට කර ඇති කැණීම්වලදී කුටි 11 ක පමණ සැළසුම් මතුකර ගෙන ඇත.

සියලුම කුටි සමාන දිග පළලකින් යුක්ත නොවූවත් එවායේ පොදු ලක්ෂණ කිහිපයක් දැකිය හැකි බව හෙළි කරගෙන ඇත.  සැමකුටියක්ම සමචතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත වන ලෙසද ඒවා කොටු සැළසුමකට අනුව ඉහළ මළුවට මුහුණලා තිබෙන පරිදි ද කුටිවල ඉදිරිපස ආලින්දයකින් යුක්ත වනසේ කුටියේ මධ්‍ය කොටස කුළුණු සොළසකින් යුක්ත වන පරිදි ඒ කුළුණු මත ඉඳකළ ලී වහලය ආලින්දය සහිත කුටිය ආවරණය වන පරිදි සකසා තිබෙන්නට ඇත.

මේවා අතර සුවිශේෂ ලක්ෂණවලින් යුක්ත කුටි කිහිපයක් ද හඳුනාගෙන ඇත.  වයඹදිග කෙළවර පිහිටි කුටියේ බොරදම් මෝස්තරය පිළිමගේ බොරදම් මෝස්තරයට සමානවේ.  නිරිතදිග කෙළවර පිහිටි කුටියද චාම්ලෙස සකස්කර ඇත.  එහි කුළුණු, සඳකඩ පහන් සහ මුරගල් කැටයම් රහිතය.  ඒ නිසාම ඒවා වඩාත් පැරණි යුගයකට අයිති නිර්මාණ ලෙස සැළකිය හැකිය.  එක් මුරගලක සුවිශේෂී කැටයම් දක්නට ඇති අතර, ඇතැම්විට පසුකාලයේ එතනට ගෙනවිත් සවිකරන ලද්දක් ද විය හැකිය.  ඒ මුරගලෙහි පසුබිම මන්දිරයක හා මකර තොරණක සැළසුම දැක්වෙන පරිදි කැටයම් කර ඇත.  බටහිර හා දකුණු දිසාවලට සීමා වූ දෙවැනි පෙළ කුටිය, ධර්ම ශාලාවක් ලෙස භාවිතාවන්නට ඇතැයි, එහි විශාලත්ව අනුව සිතිය හැකිය.

මේ විහාරස්ථානය කුඹුරයායක් මැද පිහිටා ඇති බැවින් කාලයත් සමඟ පොළොව යටට ගිය තවත් බොහෝ නටබුන් තිබිය හැකිය.  මෑතකාලයේ ජනාවාස ඇති කිරීමේ දී පදිංචිවූවන්, මෙහි ඇති ඓතිහාසික වටිනාකම් නොදන්නා නිසා කළුගල් කුළුණු වෙනත් අත්තිවාරම්වලට අයත් කොටස්, උගුළුවා වෙනස්කර ඇති බව දැකගන්නට ඇත.