Ambulugala Sri Dhanthapaya Viharaya

0
53

මාවනැල්ල උතුවන්කන්ද හන්දියෙන් දකුණුට ඇති දාස්වත්ත මාර්ගයේ කිලෝමීටර 1 ගමන්කර අඹගහමුල හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් 1 ගමන්කල විට අම්බුලුගල ටැම්පිට විහාරය වෙත ළඟාවිය හැක.

ජනප්‍රවාදයට අනුව කෝට්ටේ යුගයේදී දන්ත ධාතූන් වහන්සේ කෙටි කලක් වැඩ සිටි බවට ඇති විශ්වාසය නිසා මෙම ටැම්පිට විහාරයට දන්තපාය යන නාමය ලැබී ඇතැයි සඳහන්වේ.

හතරවැනි විජයබාහු රජු ගෙන් පසු රාජ්‍ය උරුමය තිබූ පරාක්‍රමබාහු කුමරු අගලක්කෝනාර නම් ප්‍රභූවරයාගේ තර්ජන මැද්දේ ආරක්ෂාව පතා අම්බුලුගල ආරක්ෂිතව සිටිබවත් ඒ සඳහා වීදාගම මහතෙරුණ් වහන්සේ  කටයුතු කළ බවත් රාජාවලියේ සඳහන් වේ.

අවසන්වරට ලක්දිව එක්සේසත් කරමින් කෝට්ටේ අගනුවර කර ගත් පරාක්‍රමබාහු කුමරු හය වැනි පරාක්‍රමබාහු (1411-1467) රජ විය. අම්බුලුගල පෙදෙස අවුරුදු 70 ක්ම පැවතියේ ප්‍රාදේශීය රාජධානියක්වය.  ඒ නිසා එහි වැදගත්කම හීනවිය.  මාලිගාතැන්න නමින් ස්ථානයක් මෙම විහාරයට කිලෝමීටරක් පමණදුරින්  ඇතැයි සඳහන් වේ.  එහෙත් නටඹුන් කිසිවක් හමුනොවේ.

මෙම ටැම්පිට විහාර  හයවැනි පරාක්‍රමබාහු රජු සිය බාලකාලය සිහිවීම සඳහා ඉඳිකරවා ඇතැයි සඳහන් වේ. ඒ හයවැනි භුවනෙකබාහු රජු විසින් බණ්ඩාරනම් අයෙකුට දුන් සන්නසිකින් ඒ බව තහවුරුවී ඇත.  සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක වත්තේගම ධම්මකීර්ති ශ්‍රි සුමංගල හිමියන්ගේ අනුශාසනා යටතේ මෙම විහාර 1869 -1885 අතර ප්‍රතිසංස්කරණය ලක්වී ඇත.  වත්තේගම නාහිමියන්ගේ සිත්තමක් දැකගත හැක.

අඩි 7.6ක් උස්වූ ගල්ටැම් 28 ක් මත ඉඳිකර ඇති දෙමහල් විහාර ගොඩනැගිල්ල දිගින් අඩි 33.6 ක් ද, පළලින් 26.3 සිවුරැස් හැඩැතිය. එහි ටැම් පිහිටුවා ඇති පිළිමය ගෙය කුඩා එය වටා ලෑලි අතුරා බීරලු අත්වැලක් සවිකර ප්‍රදක්ෂිණා පථයක් නිර්මාණය කර ඇත.  ටැම්පිට විහාරයේ  ගල්ටැම්වලින් පිට වටය හැරෙන්නට අතුළත ගල් ටැම් සිංහ රූප සහ බොරදම් කැටයම්වලින් යුක්ත ය.

පිළිමගෙයි දෙපස අර්ධ දොරටු පාල රූප දෙකකි.  අතීතයේ එය වර්ණගන්නා ඇතැයි සිතිය හැකි වුවද අද එය හුණු අලේප කර ඇත. පිළිමගෙයට ඇතුළුවන දැවඋළුවස්ස සූර්යවංකය පිළිබිඹු කරයි.   හිඳි පිළිමය අඩි 3 ක් පමණ වන අතර, දෙපසින් වූ හිටි බුදුපිළිම අඩි 4 බැගින් උස අභය මුද්‍රාවෙන් යුත් බුදු පිළිම දෙකකි ඒ වටා කේතුමාලාවන් ඇඳ ඇත.  හිඳි පිළිමය ඉහළින් බුදුන් පුදන දෙව් බඹුන්  සහ පහළින් සැරියත් මුගලන් දෑගසව්වන් දෙනමය. ඒ අතර විසිතුරු මල් බඳුන් දෙකක් සිත්තම් කර ඇත. ප්‍රතිමා දෙපස බිත්ති සරසා ඇත්තේ සූවිසි විවරණ චිත්‍රවලිනි. ඊට අදාළව ඉහළින් පිහිටි කොටුවක විස්තර ලියා තිබේ. චිත්‍රවලට පහළින් තීරුවක නිරූපණය වන්නේ දොළොස්මස්ථානය.  මෙහි දැව වියන නෙලුම්මල් මෝස්තරවලින් සමන්විතය.

විහාරයේ ඇති ගල් උළුවස්ස සුවිශේෂී කලා උරුමය ගෙනහැර දක්වන නිර්මාණයකි. උඩි අඩි 10.2 සහ පළළ අඩි 8.1 වූ මෙම උළුවස්ස කණු දෙකත් හරස් කඩයත් වෙනම ගල්ය.  ඒවා එකට සවිකොට කැටයම් කෙටුබව පෙනේ. මෙම උළුවස්සේ දෙපැත්තේ පහළින් ම එක අතක් ඔසවා සිටින සිංහයන් දෙදෙනෙකි. මෙම උළුවස්ස ලීස්තර 10 බෙදා කැටයම් කර ඇත.  මනහර ලියවැල්, නට්‍යකරුවන් හා වාදකයන්, නලාපිඹින්නන්, රබන් වයන්නන්, හොරණෑ පිඹින්නන් බෙරවයන්නන් ආදීන් කැටයම් කර ඇති අතර උළුවස්ස මුදුනේ ගජලක්ෂමි රූපය දෙපස හොඩවැල් ඔසවා ගෙන සිටින ඇත්රූප දෙකක් සහ ඊට ඉහළින් කිඹිහි මුහුණක් නිර්මාණය කර ඇත.  මෙය මෙහි පැවති මාලිගයකින් ගලවා ගෙනා එකක් දැයි ද සැකයක් පවතී.

මෙම විහාර ගෙය මුලින් දෙමහල් විහාර ගෙයක් ලෙස පැවති අතර, පසුව එය ටැම්පිට වෙහෙරක් බවට පරිවර්තනය කර ඇත.

SHARE
Previous articleSuriyagoda Viharaya
Next articleKdigamuwa Nagavanaramaya