Sri Sugatharama Raja Maha Viharaya - Dhorabawila

0
868

හලාවත කුරුණෑගල පාර -නුගවෙල හන්දිය වමට නිකවැරටිය පාර කිලෝමීටර් 2 ක් පමණ  දුර යනවිට දොරබාවිල නාමපුරුවරුව දකුණු පසින් ඇති අතර, එම මාවතේ කිලෝමීටරයක් පමණ වැව් බැම්ම දිගේ ගමන්කළවිට මෙම දොරබාවිල ශ්‍රී සුගතාරාම රජමහා විහාරය දැකගත හැකිය.

මෙම ටැම්පිට විහාර අඩි 6 ක පමණ ගල් කණු 6 ක් මත අඟල් 10 x 10 ලී බාල්ක ලී බාල්ක් දිග අතට 2 ක් සහ පළල අතට දෙකක් යොදා  ඇති අතර  අඟල් 4 ක පමණ ලී තට්ටුවක් මත ලී කණු 10 ක ආධාරයෙන්  මෙම පිලිමගෙය  සාදා ඇති බව පෙනේ.

ඉහල මාලයට පිසිවීමට කුඩා ලී තරප්පු පෙලක් ඇත.  කැටයම් රහිත උළුස්සකින් යුක්ත වන  අතර දෙපස කඩුව අතින් ගත් දොරටු පාලකයන් දෙදෙනෙකි. දොරටුපාලකයන් සිටින පසුබිම කහ සහ ලාදුඹුරු රෝසවර්ණය යොදා මල්වැල් මෝස්තර සිතුවම් කර ඇත.   දොරපියන් වල  රෝසපාල හා ලා දුඹුරුවර්ණය සහ සුදුවර්ණය යොදා ගෙන මල්වැල් මෝස්තර සිතුවම් කර ඇත.  එම මෝස්තර වටා කලු පැහැයෙන් ඇඳ ඉස්මතු කර ඇත.

පිළිමගෙයි හිඳි බුද්ධ ප්‍රතිමාවක් ඇති අතර සිරස්පතයක් සහිතව රැළි ආකාරයෙන් සිවුර නිර්මාණය කර ඇත.  දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් අභය මුද්‍රාවෙන් සිටී.  දෙපස සැරියුත් මුගලන් දෑගසව් දෙනමය.  දෙපසින් ඉර සහ හඳ සිතුවම් කර ඇත.  වියන නෙලුම් මල්, පලාපෙති මෝස්තරවලින් අලංකාර කර ඇත. පිළිමය ගෙය ඇතුලත දෙපසින් බෝසත් හෝ දේව රූප දෙකකි.

ප්‍රදක්ෂිණා පථය අඩි 4 ක් පමණ වන අතර දෙපසින් සහ පිටුපසින්  අඩි 2 ක් පමණ වේ.  වටේට් බීරළු වැටකි.  හතරැස් වහල පිත්තල සෙම්බු දෙකකින් හා පෙති උළුවලින් යුක්තය.  මෙම පිළිමගෙයි වහල වටා වූ වඩිම්බුව ද උළුවලින් සාදා ඇති අතර එම උළුවලද ද කැටයම් යොදා අලංකාර කර ඇත.  කඩුවක් අතින් ගත් සිංහයෙන් උඩු කොටසේ ද පහල කොටසේ හංසපූට්ටුවකි.

පිටත බිත්තිවල සිතුවම් දක්නට නොලැබේ.  ගල් කණු ඇති පාදම  පසුකලදී ප්‍රතිසංස්කරණයට ලක්වී ඇත.