Thalawa Raja Maha Viharaya - Marassana

0
98

මහනුවර නගරයේ ශ්‍රී දළඳා මාලිගය අසලින් ගිනිකොණ දෙසට විහිදෙන අම්පිටිය, තලාතුඔය මාර්ගයේ තලාතුඔය පසුකර හඟුරන්කෙත දෙසට විහිදෙන, මාරස්සන ගම්පියසේ අප්පල්ලාගොඩ මෙම තලාව රජමහා විහාරය පිහිටා ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (ක්‍රි.ව. 1747 -1780) තවත් එක් සුවිශේෂී විහාරයකි.  රජුගේ උපදෙස් අනුව ඌව දිසාව භාර ප්‍රධාන රදළවරයා වන ගලගොඩ දිසාව විහාරය ගොඩනංවාඇත.

විහාරයට පිවිසෙන මුල් දොරටුව ඉතා පැරණි වාහල්කඩක ලක්ෂණ දක්නට ඇති අතර, ඉතිරිව ඇත්තේ ශිලා කුළුණු කිහිපයකි. ඒ අතර හේවිසි මණ්ඩපයක්, ශිලාපුවරුව පැරණි සුවිශේෂී අංගයන් දක්වන අතර, ඉරහඳ සළකුණු දැක්වීම සාංඝීක බව පිළිබිඹු කරයි.  ඇතුළත හා පිටත බිත්තිවල ජාතක කථා අතර, තේමිය ජාතකය හා වෙස්සන්තර ජාතකය සිතුවම්කර ඇත.  දේවරූප, බෝසත්වරු දසදෙනාගේ රූප, සොළොස්මස්ථාන රූප මහනුවර යුගයේ ලක්ෂණ කියාපායි.  ගල්පඩි පෙලක ආරම්භයක් සමඟ කුඩා අලංකාර විහාරයක්වන මෙම විහාර සිතුවම් තීරු හා කොටු ක්‍රමයට නිමවී ඇත.  තීරු වෙන් කිරීම සඳහා ගල් බිංදුව හා වළාකුළු මෝස්තර යොදා ඇත.  ගලින් බැඳ මැටි හා හුණු බදාම පිලියම් කර සකසා ඇති පළමු මළුවේ විහාරය මෑතකදී ආරක්ෂාකාරී  අන්දමින් පවත්වා ගෙනයාමට පුරාවිද්‍යාඥයින් විසින් කටයුතු යොදා ඇත.  ඒ නිසාම විහාරයේ පිටත බිත්තිවල අතීත සිතුවම් මතුකර ගැනීම ඒ ආකාරයෙන්ම සිදුව ඇත.

ජනප්‍රවාදයකට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ ලන්දේසීන් විහාරය පාමුල ගල් පියසේ ලැගුම් ගෙන සිටිබවත්, ඔවුන් ගම්වාසීන් ගේ හරකුන් ඝාතනය කර විහාරයේ උළුවස්ස මත තබා මස්කල බව දැක්වේ.  බෝගොඩ කන්දත්, නැගෙනහිර දෙසින් කටුගොඩ  කන්දත්, උතුරින් ගන්සරහාරගම කඳු පංතියත් දකුණු පසින් බව්ලනා කඳු පංතියත් නිසා ඉතාම ස්වභාවික පරිසර උරුමයන්ගෙන් පෝෂිත වු ස්ථානයක් මෙන්ම ඓතිහාසික වැදගත්කම් රාශියකින් පෝෂිත විහාරයක් බව මනාව පැහැදිලි වේ.