Galmaduwa Raja Maha Viharaya

0
88

මෙම විහාරය මහනුවර කුණ්ඩසාලේ හරහා මහියංගනයට යන ප්‍රධාන මාර්ගයේ නත්තරම්පොත කලාපුරය පාරේ කිලෝමීටර් ¾ ක් පමණ දුරකින් පිහිටා ඇත. මෙම විහාරයේ බෞද්ධ, හින්දු කලා සම්ප්‍රදායන් දෙකම දැකගත හැකිය‍.

මඩුව යනු මණ්ඩපය යන අරුත් දෙයි.  මෙය විවෘත ශාලාවකි.  කළුගලින් කළ මණ්ඩපයක් මෙම විහාරයේ පිහිටා ඇති බැවින් මෙම විහාරය ගල්මඩුව විහාරය ලෙස හඳුන්වයි.  කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ඉදිකරවන  ලදැයි සැලකෙන මෙම රජමහා විහාරය ගෙඩිගේ සම්ප්‍රදායට අයත් විහාරයක් වන අතර, රාජසිංහ රජුගේ මෙහෙසිය විසින් දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද සැලැස්මකට අනුව ගෙඩිගෙයක් ලෙස ඉදිකරවන ලද බව පෙනේ. දකුණු ඉන්දියාවේ නන්ජෝරයේ රාජ රාජ මහා රජු විසින් කළ ශිඛාරකාර දේවාලයේ එන අංග ලක්ෂණ මෙම විහාරයේ දැකගත හැකිය.  මහල් හතකින් සමන්විතය.  මෙම විහාරය තුළ විෂ්ණු දෙවියන් ඇදහීම තිබූ බවට ලක්ෂණ දක්නට ඇති අතර ක්‍රි.ව.1938 විහාරාධිපති වු පූජ්‍ය ගම්මුල්ලේ සුමනසාර හිමියන් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේසහාය ලබාගනිමින් විහාරයේ තිබූ දේව ප්‍රතිමා ඉවත් කර බුද්ධ ප්‍රතිමා වඩාහිඳුවා ඇත.  බුදු කුටිය දිගින් අඩි 22 ක් පළලින් අඩි 17 ක් පමණ වේ.

ගලමඩුව විහාර ගොඩනැගිල්ල වැඩ අවසන් නොකළ බැවින් ප්‍රදේශවාසීන් විසින් ප්‍රධාන ගොඩනැගිල්ලට නැගෙනහිරින් කුඩා විහාරයක් ඉඳිකර ඇති අතර, එම කුඩා විහාරය මුල් ගොඩනැගිල්ලට වසර 125කට පසුව ඉඳිවී ඇත.  කුඩා විහාරයේ මහනුවර යුගයට අයත් කලා සම්ප්‍රදායන් ඇත.  ඒ අතර, සත්සතිය, සොළොස්මස්ථාන, මහා සංඝරත්නය හා අහස් වියන, නෙළුම් මල්වලින් අලංකාර කර ඇත.