Koduruvapola Tampita Viharaya

0
121

කුරුණෑගල කුලියාපිටිය මාර්ගයේ නාරම්මල සිට කිලෝමීටර් 10 ක් පමණ ගොස් ගණන්ගමුව හන්දියෙන් වමට හැරී තවත් කිලෝමීටර් 2 ක් ගිය පසු මෙම ටැම්පිට විහාරය හමුවේ.

මහනුවර යුගයේ දී ඉඳිවී ඇති මෙම ටැම්පිට විහාරයේ පුරාවිද්‍යාත්මක අගය සුරැකුණු ස්මාරකයන් නිසා මෙම කෝඳුරුවාපොල ටැම්පිට විහාරය විශේෂත්වයක් ගනී. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ මීගස්තැන්න අදිකාරම් විසින් මෙම විහාරය ඉඳිකරවන ලද හෝ පිළිසකර කරවන ලද බව සඳහන් වේ.

ජනප්‍රවාදයට අනුව විහාරය ඉදිකර ඇති ගල්තලාව මත මැති ඇමතිවරු රහස් සාකච්ඡා පවත්වා ඇති නිසා එයට කෙඳිරුම්පොල යන ලැබී ඇති බවත් පසුව එය කෝඳුරුවාපොල වු බවත්ය.

ගල්පව්වක් මත අඩි 2 ක් පමණ උස් ගල්ටැම් 11 මත  හා ගල්පව්වේ උස අනුව ගල්ටැම්වල ද උස වෙනස් අයුරින්   හා ඒවායේ ඝනකම වෙනස් අයුරින් යොදාගෙන මෙම ටැම්පිට විහාරය ඉඳිකර ඇත.  ගොඩනැගිල්ල දිගින් අඩි 23.8 ක්ද පළලින් 18.6 ක් වේ.  විහාර මන්දිරය  දිග අඩි 13.2 ක්ද, පළල අඩි 11 ක් ද වේ.  එහි බිත්ති මුදුනට බැඳ ඇති නිසා අඳුරු ස්වරූපයක් ගන්නා අතර පිටුපස බිත්තියේ කුඩා කවුලු හතරක් තබා එලියට ලැබීමට සලස්වා ඇත.  මෙහි ඇති මකරතොරණ විශේෂත්වයක් ගනී.  ඒ මත දේව රූප නිර්මාණය කර ඇත.  ප්‍රතිමා ගෘහය තුළ ඇති හිඳි පිළිමය අඩි 7.3 කි.  එහි සිවුරු රැළි දියරැළි ආකාරයෙන් යුක්තව නිර්මාණය කොට ඇත. බුද්ධ ප්‍රතිමාව අසල නමස්කාර කරමින් සිටිනුයේ සැරියුත් මුගලන් දෑගසව් දෙනමය.  සිතුවම්  සඳහා දීප්තිමත් රතු, කහ, නිල් යන වර්ණ යොදාගෙන ඇති අතර, කලු වර්ණය භාවිතා කර ඇත්තේ ඉතාමත් අවම වශයෙන් වන අතර සිතුවම් වටා රේඛා රතුපැහැයෙන් යොදා තිබීම විශේෂත්වයකි.  හිඳි බුද්ධ ප්‍රතිමාව දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකට අමතරව මෙහි බිත්තියේ එලියෙන් වම්පස විෂ්ණු දේව ප්‍රතිමාවක් උස අඩි7 ක් පමණ සහ නාථ දේව ප්‍රතිමාවක් ද වේ.

 ධර්මශාලාව සහ නව විහාරයක් සහ නව සංඝාවසයක පහළ බිමේ පිහිටා ඇත.