Kalotuwawa Viharaya

0
202

රඹුක්කන සිට මාවනැල්ල පාරේ පැමිණ හතරලියද්ද පාරෙන් හැරී දේදුනුපිටිය තැපැල් කාර්යාලය අසලින් හැරී ගමන් කිරීමෙන් කලෝටුවාව පුරාණ විහාර භූමියට ළඟාවිය හැක.

මෙම විහාරය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ ආරම්භවූ බවත් එතුමාගේ බිසව ස්නානය සඳහා විහාරය අසල පොකුණට පැමිණි බවත් ජනප්‍රවාදයයි.  මෙම විහාරයට අයත් කුඹුරු රජ කඳ බද්දෙන් නිදහස් කළ බව ද පැවසේ.

මෙම ටැම්පිට විහාරය හා සංඝාවාසය මල්වතුපාර්ශයට අයත් වන අතර පැරණි සංඝාවාස ගොඩනැගිල්ල මහනුවර යුගයට අයත් ඓතිහාසික ස්මාරකයකි.  මෙම ටැම්පිට විහාර උසම ස්ථානයේ වූ ගල් පර්වරතයක් මත අඩි 3 ක් උස කලුගල් ටැම් 13 යොදාගෙන සකස්කර ඇත. ප්‍රතිමා මන්දිරය දිගින්  17.6 ක් ද පළලින් අඩි 9 ක්  ද වන අතර, ප්‍රතිමා මන්දිරය වටා ලෑලිවලින් කරන ලද ප්‍රදක්ෂිණා පථයකි.  එහි පළල අඩි 1.10 කි.  විහාර මන්දිරය වෙත පිවිසීමට ලෑලිවලින් කළ තරප්පුවක් ඇත. පිට මාලයේ බිත්තිවල සිතුවම් නොමැති වුව එහි වියනේ  මහා මහා බහ්මයා පිරිවර සිහිතව සිටින අයුරු නිර්මාණය කර ඇත.  විහාරයේ දොරටුව දෙපස දොරටුපාල මූර්ති දෙකකි.  චන්ද්‍රවංකයෙන් යුත් උළුවස්ස උසින් අඩි 7 ක් වන පළල අඩි 2.10 කි.  උළුවස්ස සහ දොර පියන ද රතු කහ කලු භාවිතයෙන් මහනුවර සම්ප්‍රදායික රටවලින් ඉතාමත් අලංකාර අයුරින්  සිතුවම් කර ඇත.  උළුවස්සේ ඉහළින් පංචනාරි ඝටය සහ ඒ වටා යන ලියවැල්ය.  දොර පියනේ නාරිලතා මල් ඇඳ ඇත්තේ නෙලුම්මලක මැදින්  මැදින් නාරි මුහුණක් මතුවන ආකාරයෙනි. පිළිමගෙයි හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකකි.  බිත්තිවල පහළම තිරුවේ බුදුන් වහන්සේට නමස්කාර කරන රහතුන් වහන්සේලාය.  මෙහි වියනේ දක්නට ලැබෙන්නේ සත් සතියයි. මල් මෝස්තර රටාවකින් ද වියන විචිත්‍රකර තිබේ.  සිත්තම් අතර හිස් අවකාශ පිරවීමට නෙලුම්මල්, පිච්චමල්, සපුමල් සහ නෙලුම් පොහොට්ටු යොදාගෙන ඇත.  මෙම චිත්‍ර ආරක්ෂාවීමට තිබීම සතුටට කරුණකි.

මෙහි සංඝාවාසය මහනුවර සම්ප්‍රදායට අනුව 1840 ගණන්වල ඉඳිකළ ගොඩනැගිල්ලක් වන අතර, පොළොවේ සිටි අඩි 4 ක උසකින් සාදා ඇත. පැරණි උළුවහු හා දොරපියන් මෙහි දැකිය හැක.