Kdigamuwa Nagavanaramaya

0
198

රඹුක්කන සිට මාවනැල්ල දක්වා කිලෝමීටර් 5 දුරින් කඩිගමුව හන්දියෙන් හලාගිරි මාර්ගයේ තවත් කිලෝමීටර් 1 ¼  ගියපසු දකුණු පසින් වු උස්බිමක නාගවනාරාමය පිහිටා ඇත.

මෙම විහාරයේ විශේෂත්වය වන්නේ ටැම්පිට පිළිම ගෙවල් දෙකක් තිබීමය. ජනප්‍රවාදයට අනුව මෙම විහාරය 14 වැනිසියවසට අයත් බව පෙනේ.  එහෙත් ඒ යුගයට අයත් නෂ්ටාවශේෂ කිසිවක් අද දකින්නට නොලැබේ.  එහෙත් විහාරය සතු පුස්කොළ පොතක සඳහන් වන්න් මුලින්ම විහාරය කරවා ඇත්තේ  6 වැනි හෝ 7 වැනි බුවනෙකබාහු රජු විසින් බවත් පසුව 2 වැනි විමලධර්සූරිය රජ සමයේ මෝරාගම්මන දිසාව එය නැවත පිළිසකර කර ඇති බවත්ය.  නැවත 1744 කීර්ති        ශ්‍රී රාජසිංහ රජ සමයේ ද මෙම විහාර කඩිගමුවේ දම්මානන්ද හිමි විසින් පිළිසකර කරවු බව එහි පුස්කොළ පොත්වල සඳහන් වේ.

මෙම ටැම්පිය විහාරය අඩි 3 ක් උස පදනමක් මත දිගින් හා පළලින් අඩි 72 කින් යුත් පලහතරක වහල්යක් සහිත වන අතර එම වහල දැන් රට උළු දමා සකස්කර ඇත. පිට හා ඇතුළු මාලයකින් යුක්තය. පිට මාලය වටා දක්නට ඇත්තේ සූවිසි විවරණ බුද්ධ ප්‍රතිමා අඩි 7 ක පමණ උසය. මෙහි වියන් තල නෙලුම්මල් මෝස්තරවලින් සරසා ඇත.  ඇතුළු මාලයට පිවිසෙන විට නෙත ගැටන්නේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවයි. එය දිගින් අඩි 32 වන අතර උරහිස පළල අඩි 8 කි.  එම සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ කොට්ටයේ සැරසිල්ල ඉතාමත් අලංකාරය.  දකුණු පසින් හිටි බුද්ධ ප්‍රතිමාවක් ද වම්  බිත්තියට පිට දී හිඳි බුද්ධ ප්‍රතිමාවක් ද වේ.

ටැම්පිට විහාර දෙක අතරින් පළමු ටැම්පිට වෙහෙර වඩාත් පැරණි බව පෙනේ. 1758 ඉඳිකරන ලද්දක් බව සඳහන් වේ.  ගොඩනැගිල්ල දිගින් අඩි 20 සහ පළලින් අඩි 12 ක් වන අතර අඩි 3.3 උඩ ගල්ටැම් 12 ක් පිහිටුවා විහාර ගොඩනැගිල්ල තනා ඇත. විහාරයට පිවිසීමට දැව තරප්පු පෙළෙකි.  ප්‍රදක්ෂිණා පථය අඩි 2.9 කි. පටුය. පියස්ස් පළ හතරකට බෙදා පෙති උළු සෙවිලි කර තිබේ.  මෙහි හිඳ බුද්ධ ප්‍රතිමාවක් සහ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් ඇත. කේතුමාලා ගිනිදැල් සිරුර වටා යන ආකාරයට නිර්මාණය කර ඇත. බිත්තිවල රහත් තෙරුණ්වහන්සේලාගේ රූප, සොළොස්මස්ථාන සහ වියන නෙලුම් මල් මෝස්තරවලින් අලංකාර කර ඇත.  මෙහිදී ශිල්පියා ප්‍රතිමා සඳහා රන් පැහැයද අනෙක් සිතුවම් සඳහා රතු, කලු සහ සුදු වර්ණ යොදාගෙන ඇත.  පසුබිමෙහි හිස් අවකාශ පිරවීම සඳහා කඩුපුල් මල් බහුලව යොදාගෙන ඇත.  මෙහි දකුණු පසින් පැරණි සංඝාවසය පවතින අතර එය ක්‍රමයෙන් විනාශයට යමින් පවතී.

දෙවන ටැම්පිට විහාරය

මෙම විහාරය අඩි 3.6 උස ගල්ටැම් 16 ක් මෙම ප්‍රතිමා මන්දිරය දිගින් අඩි 14.4 සහ පළලින් 9.6 කි.  එය වටා ප්‍රදක්ෂිණා පථයකි.  එය වටා බීරළු වැටක් ඇත.  පියස්ස ඉදිරියට පන්නා රවුම් කුළුණු දෙකක් මත ඉඳිකර ඇති බව දැකගත හැකි අතර එයට පෙති උළු සෙවිලි කර ඇත.  මෙහි ඇති දැව කුළුණු මත නෙලුම් මල්, බිනර මල්, බෝධි වෘක්ෂ සියුම් කැටයම් අලංකාර ලෙස මතු කර ඇත.  විහාරයට පිවිසෙන උළුස්ස ද පලාපෙති, මල්මෝස්තර සිත්තම්වලින් අලංකාර කර ඇත.  පිවිසෙන දොරටුව දෙපස අර්ධ ආකාරයෙන් වූ දොරටුපාල රූප දෙකකි. වමතින් කලසක් ගෙන දකුණ අත ඉඟ මත තබා සිටින දොරටුපාලයාගේ ඇඳුම රාජකීය ස්වරූපයක් ගනී. මකර තොරණක් යට හිඳි බුද්ධ ප්‍රතිමාවේ සිටින මකරුන් ඉදිරිපස බලා සිටිම විශේෂත්වයකි.