Muhudu Maha Viharaya

0
173

ඓතිහාසික මුහුදු මහා විහාරය පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයේ මුහුදු වෙරළට ආසන්නයේ “ ආරුගම් බේ ”  වෙරළ තිරණයට යාබද දර්ශනීය පරිසරයක ය.

මෙය නැරඹීමට පැමිණිය හැකි මාර්ග අතරින් කොළඹ සිට පැමිණෙන්නේ නම් A 4 මාර්ගයේ මොණරාගල සිට වැල්ලවාය සියඹලාණ්ඩුව, හුලංනුගේ හා ලාහුගල ගම්මාන පසු කරමින්, පොතුවිල් නගරයට පිවිසිය හැක.  කොළඹ සිට දුර කිලෝමීටර් 352 කි.  එසේ නැතහොත් මඩකලපුව නගරයේ සිට කල්මුණේ හා අක්කරපත්තු නගරය හරහා ද පොතුවිල් නගරයට පිවිසිය හැක.  පොතුවිල් නගර මැද සිට ආරුගම් පාලම දෙසට කිලෝමීටරයක් පමණ ගමන්කොට පුරාවිද්‍යා ස්ථානය ලෙස සඳහන් නාම පුවරුව අසලින් දකුණට හැරී කිලෝමීටර්යක් පමණ ගමන්කළවිට මෙම විහාරය දැක ගතහැකිය.

මෙම පූජනීය ස්ථානයට අවුරුදු 2000 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම ස්ථානය ගැන කියවෙන විවිධ මත අතර වඩා ප්‍රකට මතය වන්නේ කැළණිතිස්ස රාජ්‍ය සමයේ ඇතිවූ බරපතල මුහුදු ගොඩගැලීමෙන් රට වැසියා මුදාගැනීම සඳහා කැළණිතිස්ස රජතුමාගේ දූ කුමාරිය වන විහාරමහාදේවී කුමරිය, නෞකාවක නංවා සයුරට පාකොට හැරි අතර, සයුරේ පාවෙමින් කුමරිය රැගත් නෞකාව අවසානයේ පැමිණ ඇත්තේ මුහුදු මහාවිහාරය පිහිටි ස්ථානයට බවය.  එවකට ඒ පළාතේ රජකළ කාවන්තිස්ස රජතුමාට වැසියන් විසින් කුමාරිකාවක් රැගත් අලංකාර නෞකාවක් වෙරළට සේන්දු වූ පුවත දැනුම්දීමත් සමඟම රජු ඇතුලු පිරිස මුහුදු මහා විහාරය පිහිටි ස්ථානයට පැමිණෙන අතර රජතුමා විසින් “කෝ කුමරිය” යැයි රාජපුරුෂයන්ගෙන් ඇසුව ස්ථානය අද කෝමාරිය ලෙස හඳුන්වයි.  එය පිළිතුරු දුන් රාජපුරුෂයන් කුමරිය සිටින්නේ “අර ගමේ”  යැයි පැවසූ හෙයින් මෙම ප්‍රදේශය ආරුගම් වූ බවට ද ජනප්‍රවාදයේ පවතී.

වර්තමානයේ ද, ආරුගම් ප්‍රදේශයට බොක්ක යන්න යෙදෙන ඉංග්‍රීසි නාමය වන “බේ”  (Bay ) යන්න ද එක්ව “ආරුගම් බේ”  ලෙස අදට ද ව්‍යවහාර වේ.

අනතුරුව කාවන්තිස්ස රජතුමා පැමිණ විහාරමහා දේවිය මාළිගාවට කැඳවාගෙන ඒමට ප්‍රථම සඳුන් පැන්කල හතකින් ස්නානය කර, එම ස්ථානයේ ම කුමරියගේ සියළු ආභරණ තම්පත් කරවූ බවද ජනප්‍රවාදයේ සඳහන් වේ.

ආවාස ගෘහය හා පිළිම ගේ අසල කුඩා ගල් කුළුණු කීපයක් අදටද එම ස්ථානයේ දක්නට ඇත.  තවත් මතයක් වනුයේ භික්ෂූන් වහන්සේලා පොහොය කර්ම කළ ස්ථානය මෙය බවයි.

මෙම විහාරය තුළ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සැලකීමේ දී, මේ විහාරය පසු කාලීන්ව අනුරාධපුර යුගයේ ඇති මහායාන ලක්ෂණ ආභාෂය ලබා ඇති බවට මත පළවේ.

මුහුදු මහා විහාර මහා වංශයට අනුව ඉඳිකරනු ලැබ ඇත්තේ කාවන්තිස්ස රජු සමයේ නොව පසු කලක රාජ්‍යත්වයට පත් මහදාඨික මහානාග රජු විසින් බවය.  කාවන්තිස්ස රජ හා විහාරමහා දේවිය සිහිවීමට මුල් නාග විහාරය කළද විහාරය, මහා නාග විහාරය, ගල් දිවයින් විහාරය යනුවෙන් තවත් විහාර 4 ක් තිබුණා යැයි සඳහන් වුවද අද එම ස්ථාන දැකගත නොහැක.

මුහුදු මහා විහාරයේ අදටත් ඓතිහාසික වශයෙන් වැදගත් වන නටබුන් දැකගත හැකිය.  ඒ අතරින් මුහුදු මහා විහාරයේ මුරගල් හා සඳකඩ පහන්, සහ චෛත්‍යයන් ලෙස සැලකිය හැකි වැල්ලේන් වැසී ගිය නටබුන් සහිත ස්ථානයක් ද තිබේ.  චතුරස්‍රාකාර ලෙස ඉඳිකොට ඇති පිළිමගෙය, ගඩොල් හා ශෛලමය ස්ථම්භ යොදා උස්ව පිළියෙළ කොට ඇත.  පිළිම ගෙට ඇතුළු වන ස්ථානයේ නැගෙනහිර දෙසින් වන පිය ගැටපෙළ සමඟ මුරගල් යුගලයක් හා විශේෂ ආකාරයේ සඳකඩ පහනක් ද ඇත.  පිළිමගෙය තුල පිළිම තුනක් ඇත.  බුද්ධ ප්‍රතිමා වහන්සේලා නැගෙනහිර දෙසට මුහුණලා වැඩ සිටී.  මූර්ති ශිල්පීය ලක්ෂණ අනුව මේ ප්‍රතිමාව 7 – 8 සියවසට අයත් වේ.  ප්‍රතිමාව දුර්වර්ණවි තිබේ.  තව ප්‍රතිමා යුගලයක් ද ඇත.  මේ ගැන විවිධ මත හා ජනප්‍රවාද  ඇත.  ඒ අතරින් ප්‍රකට මතය වනුයේ මෙම පිළිම යුගල විහාරමහා දේවියගේ හා කාවන්තිස්ස රජුගේ බවයි.  පුරාවිද්‍යාත්මක මතය අනුව මෙම ප්‍රතිමා යුගලය අවලෝකිනේශ්වර බෝධිසත්ව ප්‍රතිමා යුගලයක් බව කියවේ.  කෙසේ වෙතත් මෙම ප්‍රතිමා දෙස ඉතාමත් විමසිල්ලෙන් බලන කල එක් ප්‍රතිමාවක් කාන්තා ලක්ෂණ දරන අතර අනෙක් ප්‍රතිමාව පුරුෂ ලක්ෂණ දරන  බව දැකගත හැකි වේ.  මෙම ප්‍රතිමා සාදා ඇත්තේ හුණුගල් වලිනි.  විහාරයට පිවිසෙන ස්ථානයේ පොකුණක් දැකගත හැකි වේ.  තවම මෙහි කැණිම් අවසන් වී නැතත්, අතීතයේ භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව උදෙසා මේ පොකුණ භාවිතායට ගත්බවට අනුමන කළ හැක.

පිළිම ගෙයින් මීටර් 100 ක් පමණ ගමන් කළවිට, සාගරය දෙසට කැඩී ගිය ගල්කණු සහ ගඩොල් කැට සහිත ස්ථානයක් පවතී.  මෙම ස්ථානයේ වැල්ලෙන් වැසී ගිය චෛත්‍යයක් ඇති බවට අනුමාන කර හැකිය.  තවත් නව චෛත්‍යයක් ඉදිකරීමට 2010 වප්මස  27 දින මුල්ගල් තැබීම සඳහා සූදානම් වූ විට මුල්ගල තැබීමට නියමිත භූමියෙන් ගල් කණු මතුවිය.  වර්තමානයේ දී ආවාස ගෘහය සමිපයේ සිට නැගෙනහිර දෙසට ගමන් කළවිට මේ මතුවූ ගල්කණු සය දැකගත හැකිය.  මේ විහාරයට අයිති විශාල ප්‍රමාණයක් නටබුන් මුහුදු පතුල තුල හා වැල්ලෙන් යටවී ඇත.  විහාර මහාදේවිය නෞකාවෙන් ගොඩ බසින ආකාරය පෙන්වන සිතුවමක් ද මෙහි දක්නට ඇත.

මුහුදු මහා විහාරයට දෙමහල් විශ්‍රාම ශාලවක් ඉඳිකරමින් පවතී. පොතුවිල් නගර මධ්‍යයේ පිහිටි බෝධි වෘක්ෂය පාමුල අසූ මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමාද දැකගත හැකිය.  තවත් ස්ථානයක, කුටියක් තුල විහාර මහාදේවියගේ ප්‍රතිමාවක් ද දැකගත හැක.  අප රටේ ප්‍රෞඪ ඉතිහාසය විදහා දක්වන මෙවන් සම්පත් අනාගතය සඳහා ආරක්ෂා කොට ගැනීම අප රටේ මතුපරපුර වෙනුවෙන් අප සැමගේ යුතුකම හා වගකීම නොවේද?

SHARE
Previous articleDhematamal Viharaya
Next articleThissamaharamaya Temple