Thissamaharamaya Temple

“නික්ඛිප්ප සම්පූණ්න සසංක බිම්බ

සංකාස භාසන්ත ලලාට ධාතුං

ආකාරයි ස්ත නිරිස්සරෝයං

ථූපං නමෙ තිස්ස මහා විහාරෙ”

පඞු ඇඹුල අසුන් හුන් සේ රනින් ලෝතුමන්ගේ

පිළිබිඹු කරවීමෙන් ඊ නළල්හී නළල් දා

තබ්මිණි මුණිඳුව්මේ බැන්දෙයිය ලෝ පසින්ඳු වූ

නමදමි සතොසින් නිත් තිස්සමහා නම් එදා ගැබ්

බුදුන්වහන්සේගේ ලංකාගමනගේ දී පාද ස්පර්ශය ලත් තිස්සමහාරාමය සොළොස්මස්ථාන අතරින් එක් ස්ථානයකි.  දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මාගම්පත්තුවේ පිහිටා ඇති තිස්සමහාරාමය බුදුන්වහන්සේ සමාප්ති සුවයෙනි වැඩ සිටි ප්‍රජා භූමියකි.

මේ බව තිස්සමහාරාම විහාර වංශයෙහි 11 වන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ.  කාවන්තිස්ස රජතුමා විහාර මහා දේවිය, සමඟ මාගම් පුරයේ රජකම් කළහ.  සද්ධාතිස්ස, දුටුගැමුණු නම් පුතුන් දෙදෙනෙකු ද, එතුමාට ලැබිණ වර්ෂ හැටහතරක් රාජ්‍ය කළ අතර චෛත්‍ය හැට හතරක් කළහ.  ඒ අතර තිස්සමහාරාම චෛත්‍ය ද වේ.

කාවන්තිස්ස රජු විසින් මෙම මහා චෛත්‍ය රාජායාණන් වහන්සේ ගොඩනැඟීම හා  ඊට රහතන් වහන්සේලාගේ උපකාරය ලැබිම ද ඉතා වටිනා තොරතුරුක් සේ සැලකිය හැක.

ඓතිහාසික වැදගත් කමක් හා පූජනීයත්වයක් ඇති තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තුළ නිදන් කොට ඇත්තේ නළල් ධාතුව පමණකැයි බොහෝ බෞද්ධ බැතිමත්හු සිතූහ.  නමුත් 1960.11.07 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ කරන ලද කැණීම්වලින් මාගම්පුරයේ කිරින්දෙන් ලැබුණු ශීලා ලේඛනය නිසා තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තුල වම් දළඳාව ද නිදන්කොට ඇති බව හෙලිවිය.  කාවන්තිස්ස රජතුමා විසින් නිදන්කොට ඇති මේ වම් දළඳාව බුදුන් රාජාණන් වහන්සේගේ යටි හකුවේ බව පැහැදිලිවම සඳහන් කරයි.  ශ්‍රී ලංකාවේ පවතින මහා විහාර දෙකෙන් එකක් වන තිස්සමහාරාම විහාර ස්ථූපයේ බුදුරාජාණන් වහන්සේගේ නළළ් ධාතුව හා දළඳාවක් ද නිදන් කොට ඇති බව සිහිපත් කළයුතුය.

තිස්සමහාරාම චෛත්‍ය රාජායණන් වහන්සේ පෙරටු කොටගෙන සංඝවාසයන්හි වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලාගේ බහුශ්‍රත වූහ.  විනියධර වූහ.  ධර්මධර වූහ.  උන්වහන්සේලාගේ ධර්මය හොඳින්ම දැන සිටි බව සඳහන් වේ.  බණ භාවනානු යෝගී ජීවිතයක් ගතකොට රහත් වූ බව ද කියැවේ.  පිණ්ඩපාතික හිමි නමවල් ද මෙහි වැඩසිටියහ.

තිස්සමහාරාම මහා විහාරයට අයත් කෙත්වතු පිළිබඳ, කොළඹ ජාතික කෞතුකාගාරයෙහි තැන්පත්ව ඇති තිස්සමහාරාම පුවරු ලිපියෙහි එහි සඳහන් කරන ආකාරයට ජෙට්ඨතිස්ස රජු විසින් කරන ලද කෙත්වතු පූජාවක් පිළිබඳ තොරතුරු ඇතුළත් වෙයි.  තවද ජෙට්ඨතිස්ස රජගේ කාලයේ ක්‍රි.ව. තුන්වැනි සියවසේ සිට පස්වන  සියවස අතර කාලයේ, තිස්සමහාරාම විහාරස්ථානයට අක්කර දහඅට දාහක් හිමිව තිබුණු බව කියැවේ.  මේ හැර සඳගිරිය පිහිටි තිබූ ටැම් ලිපියෙන් ද, වසභ රජතුමා විසින් ද කිරිය කිහිපයක් පූජා කරන ලද බව කියැවේ.  තවද කතරගම ටැම් ලිපියෙන් ලමැනි මිහිඳු රජතුමා දහවන සියවසේ දී ඉඩම් පූජාකළ බව සඳහන් වේ.  කිරින්දේ  ගිරි ලිපිය, අකුරු ගොඩැල්ලේ ටැම් ලිපිය, මයිලගස්තොට ටැම් ලිපිය, හුලන් නුගේ කන්ද විහාරයේ ගිරි ලිපිය, ආදී ලිපිවලින්ද තිස්ස විහාරයට පූජා කරන ලද ප්‍රමාණයක් ගැන කියැවේ.

කාවන්තිස්ස රජ්‍ය සමයෙන් සියවස් දෙකකට පසු ක්‍රි.ව. 38 දී රජකළ ඉළනාඟ රජු තිස්ස මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ, පෙර තිබූ පරිදිම නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.  ක්‍රි.ව. 214 රජ පැමිණි චෝහාර තිස්ස රජු මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡත්‍ර නැංවීමක් කොට ඇත.  නමුත් වරින් වර අභාවයට ගොස් නැවත ක්‍රි.ව. 560 දී මහානාග යුව රජු විසින්, ප්‍රතිසංස්කරණය කරන ලදී.  නැවත මේ මහා සෑය ක්‍රි.ව. 1662 රජ කළ ශ්‍රී වීරපරාක්‍රම නරේද්‍රසිංහ රජතුමාගේ අවධානයට යොමුවිය.  නැවත ගරා  වැටුණු තිස්සමහා විහාරය  වේපත සුමන ස්වාමීන් වහන්සේ විසින් 1857 නැවත තිස්සමහා සෑයේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු ආරම්භ කළහ.  පසුව හතරැස්  කොටුවේ ධාතු නිධානොත්සවය ද කළහ.

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රමාණය මුල් පේසාවේ වට ප්‍රමාණය, අඩි පන්සිය පණහකි.  හතරැස් කොටුවේ අඩි දෙසිය හතළිස් දේවතා කොටුව අඩි එකසිය හැට අටකි.  කොත් කැරැල්ල අඩි හතළිස් එකකි.  කොත් වහන්සේ අඩි එකළොහ මාරකි.  සියල්ල එක් වු විට මුළු උස ප්‍රමාණය අඩි එකසිය අසූහයක් වේ.  තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ බුබ්බුලාකාර වන අතර දැකුම්කලු ද වේ.

මෙහි පොසොන් මහා පෙරහැර අද දක්වාත් වාර්ෂිකව නොකඩවා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබේ.  අහස සිපගන්නා සුදු වලාකුළක් පරිද්දෙන් තිස්සමහාරාම දාගැබ තේජමානව වැඩ සිටින බව පෙනේ.

දෙව් මනුෂ්‍ය ආදීන්ගේ සාධුකර නාදයෙන් ද දෙව් මිනිසුන්ගේ සුවඳ මල්වලින් සුවඳ පැතිරෙන, තවුතිසා දෙව්ලොවින් පරසතු මල් පුදන රහතන් වහන්සේලාගේ පාපහස ලැබු, ලක්දිව බුදු සිරිපා ස්පර්ශය ලද පුණ්‍ය භූමියක් ලෙස සඳහන් කළ හැකිය.  අධ්‍යාත්මික සැනසීම සොයා මෙය නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් දිවයිනේ නන් දෙසින් තිස්සමහාරාමය කරා ඇඳි එයි.