Buddhangala Aranya Senasanaya

බුද්ධංගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර කොට්ඨාශයේ ය.  අම්පාර නගරයට පැමිණෙන ඔබ ප්‍රධන වීදියේ දෙවැනි ඔරලෝස් කණුව අසලින් හැරී කිලෝ මීටර 2 ක පමණ තාර දමා සැකසූ මාවතේ පැමිණ මේ පුදබිමට ඔබ ළඟා වියහැකිය.

 

මේ ප්‍රදේශයේ වර්තමානයේ ගල්ඔය මටියාවත නමින් හැඳින්වුවද, මේ ප්‍රදේශයේ ඓතිහාසික නාමය දිගාමඩුල්ලය.  බුද්ධංගල යනු මෑතකදී වහරට වැටුණු නාමයක් වන අතර, මෙහි පවතින පර්වතය ඈතට සැතපෙන බුදුපිළිමයක් සේ දිස්වන නිසා බුද්ධංගල යන නාමය පටබැඳුණු බවට මතයකි.  එසේම බුදුන් වැඩිගල බුද්ධංගල බවට ද, මෙම ප්‍රදේශයේ පැරැණන්ගේ තවත් මතයකි.  කෙසේවුවත් මෙහි පැරණි නාමය නිවැරදිව හඳුනාගෙන නොමැති හෙයින් බුද්ධංගල යන නාමය තවදුරටත් භාවිතා කිරීම වඩා සුදුසු වනු ඇත.

 

මේ භූමි ප්‍රදේශය අක්කර 1280 ක් පමණ වූ සුවිශාල පර්වත කුළු කීපයක් සිටිනසේ මතුවී ඇති අතර, මේ එකිනෙක ගල්කුළු තද බෑවුම් සහිත කපොලුවලින් වෙන්වී ඇති අතර මේ මුදුනුවලට නැඟිය හැක්කේ වෙන වෙනම වැටුණු මාර්ගවලිනි.  එක් ගල්කුළුක් සුදෝසුදු පැහැයෙන් අහස්කුස සිපගන්නා දුටුවන් නෙත් බැදගන්නා ඝණ්ඨාකාර හැඩයෙන් යුතු චෛත්‍යයකි.  මෙම ප්‍රදේශය අවට අක්කර සියගණන් ඈතට දිවෙන වපසරිය වනජීවී රක්ෂිත අභය භූමියකි.

 

වැසිසමයෙහි ජලයෙන් පිරී ඉතිරෙන තැන තැන දැකිය හැකි දිය ආරවල්, ගල්කෙමි රමණිය දසුනකි.  වනය තුළ නිබදව වල්ඇතුන් සැරිසරනු දැකිය හැකි අතර ඔවුන්ගෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවීම ඉමහත් අසිරියකි.  එසේම අත්තෙන් අත්තට පැන යන රිලා පෝතකයින්, රූස්ස ගස්මතින් දුවන දඩුලේනුන්, තණ උලා කන මුවන්, වළිකුකුලන්, මොරණරුන් වැනි විවිධාකාර පක්ෂීන් සහ සතාසිව්පාවුන් ඕනෑ තරම් මෙහි දැකිය හැකිය.  ඇත්තෙන්ම මේ වනය ඔවුන්ගේ රජදහනකි.  එසේම මේ වනය ඉතා ඉහල මට්ටමක ජෛව විවිධත්වයකින්, ජල පෝෂක ප්‍රදේශවලින් ද සරු භූමියක් වන අතර එහිම ප්‍රභව වී වර්ධනය වන ඖෂධීය ශාක වර්ග ගණනාවකි.  පර්වතනය කඳුමුදුනේ ගල්තලාව මතට නැගගත් විට, ඈත රූස්ස ගස්වැල් අතරින් ක්ෂිතිජය තෙක් පෙනන නිල් පැහැති කුඹුරුයාය නෙතට සුව ගෙනදේ.

 

හිමිදිරි උදෑසට නැගෙනහිර දිශාවෙන් මුළු වන්නාතරය පුබුදුලමින් නැඟ එන හිරු කිරණ සෑරදුන්ගේ කොත් කැරැල්ලට ස්පර්ශවනවිට මුළු වනපෙත තුලම අමුතු අසිරියක් ඇතිවේ.

 

වර්ෂ සියගණන් මිනිස් පහසක් නොලද බුද්ධංගල පූජනීය ස්ථානය බිහිසුණු වනසතුන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබූ අවධියේ, මෙහි වැඩම කල ආරණ්‍යවාසී පූජ්‍ය කළුතර ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේ බුද්ධංගල ආරණ්‍ය අරඹා, මෙහි වර්තමාන තත්ත්වය දක්වා සංවර්ධනය කරවා ඇත.  ගරාවැටී තිබූ සෑය නැවත ප්‍රතිසංස්කරණය කර විහාර මන්දිරයක් ද, ලෙන් ආවාස කුටි ද, පෝය සීමා ගෙයක් ද තනවා තිබෙන අතර, එක් කුලක් මත පිරිත් මණ්ඩපයක් ද බඳවා බෝධියක් ද රෝපණය සිදුකර තිබේ.

 

පැරණි සම්ප්‍රදායන් සුරක්ෂිත වන අයුරින් ආරණ්‍ය සේනාසනය පවත්වාගෙන යන අතර, ආධ්‍යාත්මික සිසිලස සොයන්නන්ගේ සිත්සතන් සැනසිය හැකි සේ සකස්වූ භාවනා වැඩපිළිවෙළ සහ ඊට රුකුල් සපයන් නිහඞ නිස්කලංක පරිසරය ද මෙහි පිවිසෙන්නන්ට මහත් ආශිර්වාදයකි.

 

බුද්ධංගල පුරාවිද්‍යාත්මකව මහඟු වටිනාකමක් යුත් අඩවියක් වන නමුත්, මේ භූමියේ තවමත් නිසි වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ගවේෂණයක් සිදුවී නොමැති බව පෙනීයයි.  මෙම ලෙන්වල පිහිටුවා ඇති ශිලා ලේඛන බ්‍රහ්මී ලේඛන දෙකක් පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් රචිත Inscription of Ceylon vol (I) ග්‍රන්ථයේ පළකර තිබේ.

 

බුද්ධංගල භූමියෙන් දැනට මතුකරගෙන ඇති නටබුන් අතර සඳකඩපහණ ගණන 03 කි.  මෙහි ඇති සඳකඩපහණ දෙකක ඇති සුවිශේෂතාවය වන්නේ කිසිදු කැටයමක් මෙහි දක්නට නොලැබීමයි.  අනෙක් සඳකඩ පහණේ කවාකාර කොටසේ රවුම් තීරු 2 ක් බේරා ඇති අතර, ඉන්පසුව දෙපෙති නෙළුම් මල් පෙති රාවන් ඉතා චාම් ලෙස නිමවා තිබේ.

 

පැරණි ප්‍රධාන පියගැට පෙලට අලවා තිබුණ බව පැවසෙන කොරවක් ගල් දෙකක් දැනට බුදු මැදුරේ දකුණු දොරටුවට සවිකර තිබේ.  නටබුන් අතර බුදුන්වහන්සේගේ පාද ලාංඡන සහිත ගල් දෙකකි.  මින් එකක් දැනට නටබුන් අතර තබා ඇත.  එහි අගල් දෙකහමාරක් දිග පළලින් වූ සමචතුරශ්‍රාකාර ශිලාවෙහි පාද ලාංඡන සටහන් මැකී යමින් පවතී.  සෑයෙහි නැගෙනහිර මලසුන් ගෙයි තබා ඇති අනෙක් ගල හැඩයෙන් රවුම්ය.  එහි ගැට්ට වටා රවුමට තීරු 3 ක් බේරා ඇති අතර, මේ තීරුවලින් ත්‍රිවිධරත්නය නිරූපණය වන බවත්  ශලාවෙහි යටිපැත්තේ කුහරයේ ධාතූන්වහන්සේලා තැන්පත් තිබූ බවටත්, බුදුමැදුරට ඉදිරියෙන් පැරණි බැම්මට ආසන්නව නටබුන් ගල්කණු සහිත ගොඩනැගිලි 2 ක් වන අතර මෙහි නටබුන් අතර ගල්කණු 6 ක් දැනට ශේෂව පවතී.  මෙහි කුළුණු කැඩීබිදී ඇති බැවින් නියමිත උසක් දැක්වීමට අපහසු ය.  එසේම මෙහි විවිධ හැඩයෙන් යුත්, වෘත්තාකාර, චතුරස්‍රාකාර ගල්කුට්ටි බොහොමයක් දැකියි හැකිය.

 

මෙම පර්තවතයේ නැගෙනහිර බෑවුමේ ගලහි පිහිටි දිය නොසිදෙන පොකුණකි.  එයට මදක් ඉහලින් ගලෙහි නෙලන ලද පිය 17 කින් යුතු පියගැට පන්තියකි.  පර්වතයේ බටහිර සීමාවේද පැරණි පොකුණක් පිහිටා තිබෙන අතර එයටම යා කර නූතන පොකුණ සාදා තිබේ.

 

බුද්ධංගලින් හමුවූ වැදගත්ම පූජනීය නිදන් වස්තුව, රන් කරඞුව විවෘත කලපසු එහි තුල නාල සහිත කුඩා ‍නෙළුම් මල් තුනකි.  නෙළුම් මලෙහි ධාතූන් වහන්සේලා ක්‍රමවත් ලෙස තැන්පත් කර තිබී ඇත.  බුදුමැදුරේ අග්‍රශාවක් වහන්සේලාගේ රූප අඹා ඇතිවාසේම රූප චිත්‍රයට ද නඟා ඇත.  උන්වහන්සේලා වන්දනා කරන ගථාවන්ද එහි සටහන් කොට තිබේ.

 

කලබලකාරී අම්පාර නගරයේ සිට ඉතා කෙටි වේලාවකින් ළඟ විය හැකි බුද්ධංගල සෙනසුනට පැමිණි කල්හි අම්පාර නගරයේ පරිසරය  සහ වන සෙනසුනේ පරිසරය අතර ඇති දැඩි වෙනස ඉතා හොඳින් අවබෝධ කරගත හැක.  නිහඩ නිසල වන සෙනසුනට ඇතුළු වූ සැණින් පළමුවෙන්ම දැනෙනුයේ එතෙක් පරිසරයේ තිබූ තද රස්නය නිවී ගියාසේය.  නිහැඩියාව දසතම රජ කරයි.   ඒ නිහඩතාවය භාවනායෝගීන්ට භාවනා කටයුතු සඳහා උචිතම පරිසරය සකසා දෙයි.  වන සෙනසුනේ ප්‍රධාන පරිශ්‍රායේ සෑම දිශාවකටම පාහේ මහ වනාන්තරය මැදින් ගමන් කිරීමේ දී භික්ෂුන් වහන්සේලා වැඩ සිටින භාවනා කුටි හමුවේ.  ස්වභාවික පරිසරයට අනුගතවීම සඳහා සුදුසුම මනස්කාන්ත පරිසරයකින් හෙබි බුද්ධංගල වනය වන අලින්ගේන් ගහණය.  වන අලින් ගමන් ගන්නා මාර්ගය ඔස්සේ භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා දිනකට කිහිපවිටක් තම කුටිවලට වඩින අතර, පරිසරය යනු වෘක්ෂලතා පමණක් නොව  වනජීවීන් ද පරිසරයේම කොටසක් බව අවබෝධ කරගැනීමටත්, තමන් පරිසරයේම  කොටස්කරුවෙකු මිස, එය විනාශ කරන්නට විශේෂ අවසරයක් ලද අයෙකු නොවන බව ඒත්තු ගැනීමට ද මේ පරිසරය විශාල දායකත්වය මිනිසාට ලබාදේ.

 

භාවනා කිරීම සඳහා බුද්ධංගල වන සෙනසුන වෙත පිය නඟන අයට එහි දැකගත හැකි සුවිශේෂ වූ දසුන් කිහිපයක් වෙත අවධානය යොමුකිරීම වටී.  ඉතා රමණිය වන අරණ තුල සකසා ඇති සක්මන් මලු කීපයකි.  ගිහි පැවදි භාවනා කුටි ඉදිරිපිට හෝ ඒ අසල මනාව සකසා ඇති එම සක්මන් මලු භාවිතා කොට, සක්මන් භාවනාව වඩාන භාවනානු යෝගීන් දැකීම සිතට සැනසීම ගෙන දෙන්නකි.  ඉතාමත් නිහඩ පරිසරයක්, ගස්වැල් අතරේ නිහඩව සක්මන් කරන යෝගියාගේ මනස සංසුන් වේ.  එහිදී දෙපා එසවීම, ගෙනයාම, තැබීම යන ක්‍රියාවලිය තුළ ඔහු අවබෝධ කරගන්නේ ක්ෂණ භංගූරත්වය හෙවත් උත්පාද, ඨිති, භංග යන සනාතය අනිත්‍ය දහමයි.  මෙය විදර්ශනා භාවනාවකි.  සංසුන් වූ මනසට විදසුන් වැඩීම සඳහා තෝතැන්නක් බඳුවූ මෙවන් සෙනසුනේ සක්මන් මලු භාවනායෝගීන්ට සත්‍යය අවබෝධ කරගැනීම සඳහා කරනු ලබන සේවය අපිරිමිතය.

 

තවද, මෙහි දැකිය හැකි මිනිස් ඇටසැකිල්ල සහ අලියෙකුගේ ඇටසැකිල්ල මෙහි පැමිණෙන්නන්ගේ අවධානයට හසු වේ.  බොහෝ දෙනෙක් එවා මහත් ඕනෑකමින් නරඹති.  එනමුත් එයින් ප්‍රයෝජන ගන්නේ ටික දෙනෙකි.  මෙහි භාවනා කරන භාවනානුයෝගීන් විදර්ශනා භාවනාව සඳහා මේ ඇටසැකිලි උපයෝගී කොට ගනිති.  කායගතාසති භාවනාවේ අට්ඨි සංඥා නමින් හඳුන්වන මේ භාවනා ක්‍රමය තුලින් ජීවිතයේ යථා ස්වභාවය දැක ගැනීමට ලැබේ.  මිනිසා,  තම වර්ගයාගේ නියම ස්වභාවය  මේ ඇටසැකිල්ල බැලීමෙන්  දිගින් දිගටම මෙනෙහි කිරීමෙන්, එහි ඇති යථා ස්වභාවය වටහා ගත හැකිය.  බුද්ධ කාලයේ සිට පැවැත ගෙන එන මේ භාවනා ක්‍රමය තුලින් ප්‍රතිඵල ලද්දෝ අපමණය.  ආරණ්‍යයක පූර්ණත්වය, සියලු අංග තිබීමෙන් වටහා ගත හැක.  මෙහි වැඩවසන ගරුතර  ස්වාමීන් වහන්සේලා ඒ පිළිබඳ මනා වැටහීමකින් කටයුතු කරමින්, භාවනානු යෝගීන්ට උපරිම පහසුකම් සලසමින්, ඉතා හොඳ ශාසනික මෙහෙවරක යෙදී සිටීම අගය කළයුතුය.

 

මියගිය ඇතෙකුගේ ඇට සැකිල්ල, ජනතාව බැලීමට සලස්වා තිබීම බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේ.  අලි ඇතුන් බහුල ඝන වනාන්තරයක මේ ආරණ්‍යය පිහිටා තිබීම, එය හොඳ නිදසුනකි.  පළමු වතාවට මේ ප්‍රදේශයට පැමිණෙන අය, එය දැකීමෙන් දල අවබෝධයක් මේ ප්‍රදේශයට ලබාගනියි.   අලියෙකුගේ ඇටසැකිල්ල දැකගැනීම පහසු දෙයක් නොවේ.  ලංකාවේ කෞතුකාගාරවල සහ වනජීවී කෞතුකාගාරවලදී එවැනි ඇටසැකිලි දැකගත හැකි වුවද, ආරණ්‍ය සේනාසනයකදී මෙවැනි අලි ඇට සැකිල්ලක් දක්නට ලැබීම දුර්ලභ දෙයකි.  ඒ අතින් ද මෙහි ගරු ස්වාමීන් වහන්සේලා සතුන් හා මිනිසුන් අතර තිබෙන, නොකැඩෙන සම්බන්ධත්වය පිළිබඳ පාඩමක් කියා දෙති.  ඒ වගේම අලි ඇතුන් වනාන්නතරවල සිටීම සමතුලිතභාවය සඳහා ප්‍රබල සාධකයකි.  ඉතා වටිනා අලි සම්පත තවදුරටත් රැක ගැනීම සඳහා දෙන සංඥාවක් ද මේ  ඇලි ඇටසැකිල්ල තුලින් දෙනු ලැබේ.

 

භාවනානුයෝගීන්ට මිනිස් ඇට සැකිල්ල දෙස බලා ලබාගන්නා අවබෝධය, අන්සතුන්ගේ ඇටසැකිල්ල නිරීක්ෂණය කිරීමේදී, එම අවබෝධය පුඵල් කර ගැනීමට අවකාශ්‍ය ලැබේ.  සියලු සතුන් සමානව සලකන්නැයි අපගේ බුදු පියාණන් වහන්සේ දෙසා වදාළ හ.  එම නිසා සාමානාත්මතාව, සත්ව මිනිස් සම්බන්ධත්වය, සියලු සත්සවයෝ නිවන සොයා යන බව, මේ තුළින් වටහා ගත හැකි වන්නේය.

 

මේ ආරණ්‍යයේ ඇති අනෙක් විශේෂ කරුණ නම් භාවනා කිරීමට එන භාවනානුයෝගීන්ට ලැබෙන නිදහසයි.  එහි වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා කෙටි පිළිසදරකින් පසු නිදහසේ තමන් කැමති භාවනාවක නිරතවීමට අවකාශ ලබාදෙයි.  අවශ්‍ය වේලාවේදී පමණක් උපදෙස් ලබාදෙයි.  බොහෝ භාවනා මධ්‍යස්ථානවල නැති, අගය කළයුතු කරුණ එයයි.  භාවනානුයෝගියා කාල සටහන්වලට වැඩ කිරීම නොව, නිදහසේ තම භාවනාව කරගෙන යාම නිසා, ඉතා ඉක්මණින්  ප්‍රතිඵල ළඟාකර ගනී.  එම නිසා,  බුද්ධංගල වන සෙනසුන කරා එන භාවනානුයෝගීන්ට එම විශේෂත්වය දින 2-3 කින් මනාව අවබෝධ කරගත හැකිය.

 

බුද්ධංගල තපෝවනය විදසුන්වඩන්නන්ට අපූරු අත්දැකීම් ළඟාකර ගත හැකි අධ්‍යාත්මක දියුණුවට පියමංකල හැකි ඒ සඳහා සුදුසුම ස්වභාවධර්මයේ අශිර්වාදයක් ලෙස හැඳින්විය හැකිය.  මෙවන් පිංබිමක රැයක් පහන් කිරීම, මොහොතක් හෝ බවුන් වැඩීම ඔබටත් අනිවාර්යෙන්ම අපූර්ව අත්දැකීමක් වනු නොඅනුමානය.