Nikasalagama Mahagiri Viharaya

කුරුණෑගල හලාවත මාර්ගයේ මැදගම හන්දියෙන් වමට හැරී කිලෝමීටර හතරහමාරක් ගිය විට නිකසලගම හෙවත් නිකසල නුවර හමුවේ.  කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ නිස්සවට අයත් වටවූ කඳු පංතියකින් යුත් විහාරයකි.  ප්‍රදේශවාසීන්ගේ මතය වනුයේ විශාල ගල්කුළු නිසා මහාගිරි චේතිය ලෙසින් ද දක්වා ඇති බවයි.  චෛත්‍යයට බටහිර දෙසින් කටාරම් කොටන ලද ලෙන් 17 ක් පමණ තිබී ඇති අතර, ඒවායේ රහතන් වහන්සේලා වැඩසිටි බවට විශ්වාස කරන අතර කටාරම් කෙටූ ලෙන් ලිපියක ද මේ බව සටහන්වේ.

අනුරාධපුර පොළොන්නරු යුගයන් හා මහනුවර යුගයන් සම්බන්ධ කර ගනිමින් තොරතුරු ගලායාමක් දක්නට ලැබෙන අතර ගණින්නාන්සේලා වාසය කළ බව ද දැක්වේ. II විමලසූරිය රජු දවස විහාරයට වටාපතක්, පාත්‍රයක් හා මකර තොරණින් වටවූ කුඩා රන් පිළිමයක් පූජා කළ බවට තොරතුරු සදහන් වේ.  ලෙන් විහාරයේ සැතපෙන බුදු පිළිමයක්, හිඳිපිළිමයක් හා සැරියුත් හා මුගලන් මහරහතුන් වහන්සේලාගේ පිළිම දක්නට ඇති අතර, දේව රූප දෙකක් ද දක්නට ලැබේ.

පැරණි ශිලා ලේඛන මෙන්ම යුග කිහිපයක එකතුවක් අධ්‍යනය කරන පිරිසටත්, බුදුදහම  ආරම්භ කල කාලයේ පටන් මහනුවර යුගය දක්වා තොරතුරු මනාව දක්වාලීමට උපකාරීවන විශාල ශිලාමය පඩිපේලි 190 ක් පමණ සමන්විත පිවිසුම් මාර්ගය II විමලසූරිය රජතුමා විසින් සාදන ලද වන උයනක් ද දක්නට ලැබේ.  බෝධීන් වහන්සේ නම ශ්‍රී මහාබෝධි අංකූරයක් ලෙස සැලකේ.